Lion බියර් CEO සුරේෂ් ෂා සිලෝන් ටොබැකෝ සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් දැවැන්තම සමාගම වන CTC සමාගමේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් කුමාර් ෂා මහතා පත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි. එම අධ්‍යක්ෂ මණ්ඩල හමුව ඊයේ (පෙබරවාරි 16) දිනයේදී පැවැත්වී තිබේ.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළ විලියම් ෆ්‍රැන්සිස් පෙගෙල් මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම ඇති වූ පුරප්පාඩුව සඳහා සුරේෂ් ෂා මහතා මෙලෙස පත් කෙරී ඇත. මෙහිදී සුරේෂ් ෂා මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්බන්ධ කර ගෙන ඇත.

ඒ මහතා සභාපති ධුරයට පත්වීම ඊයේ දිනයේ සිට බලාත්මක වන බවත්, එම අවස්ථාව වනවිට සුරේෂ් ෂා මහතා සතුව සිලෝන් ටොබැකෝ සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපවතින බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සුරේෂ් කුමාර් ෂා (සභාපති – විධායක නොවන අධ්‍යක්ෂ (ස්වාධීන), නෙඩාල් සාලෙම් (ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ), උමෙයිර් ලුක්මාන් (මූල්‍ය අධ්‍යක්ෂ – විධායක අධ්‍යක්ෂ), උස්මාන් සාහුර් විධායක නොවන අධ්‍යක්ෂ, අනිල් තිත්තවෙල (විධායක නොවන අධ්‍යක්ෂ (ස්වාධීන)), යුධීෂ්ට්‍රන් කනගසබෙයි (විධායක නොවන අධ්‍යක්ෂ (ස්වාධීන)), ස්ටුවර්ට් කිඩ් (විධායක නොවන අධ්‍යක්ෂ) සහ රුමානා රහ්මන් (විධායක නොවන අධ්‍යක්ෂ) යන පිරිසයි.

සුරේෂ් ෂා මහතා මේ වනවිටත් තවත් ලැයිස්තුගත සමාගම් දෙකක් වන සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග් පීඑල්සී සහ ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. විශේෂයෙන්ම සුරේෂ් ෂා මහතා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය දැරූ කාලය තුළදී කුඩා ව්‍යාපාරයක් ලෙස පැවැති ලයන් බියර් සමාගම දැවැන්ත සමාගමක් බවට පත් කිරීමට සමත් වී තිබේ.

එහිදී බොහෝ සම්මාන රැසකින්ම පිදුම් ලැබීමටද ලයන් බෘවරි (සිලෝන්) සමාගම සමත් විය. නවීනතම තාක්ෂණය යොදා ගෙන සිදු කරන මෙම බියර් නිෂ්පාදන සන්නාම ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. අද වනවිට එහි නිෂ්පාදනයෙන් 8%ක් ලොව රටවල් 25ක් වෙත අපනයනය කිරීමද සිදු කරයි.

සිලෝන් බෙවරේජ් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරද්දී ඒ මහතා නව ක්‍රමෝපායික ව්‍යාපාර තුනක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත් බව පවසයි. ඒ අනුව Luxury Brands Pvt Ltd (ලොව මුල් පෙළේ බියර් සහ මත්පැන් ස්ප්‍රීතු ආනයනය සහ අලෙවිය), Pubs N’ Places Pvt Ltd (මත්පැන් ශාලා ජාලයක සන්නාම හිමිකාරීත්වය) සහ Retail Spaces Pvt Ltd (මද්‍යසාර ගබඩා ජාලයක හිමිකාරීත්වය) යන සමාගම් පිහිටුවීම සිදුවිය.

2021 ජූනි 30 වැනිදා සිට සුරේෂ් ෂා මහතා ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගමේ ප්‍රධානවිධායක නිලධාරී ධුරයෙන් ඉවත්වීමටද නියමිතව සිටියි. පසුගිය වසරේ ජුනි මාසයේදී ඒ පිළිබඳව නිවේදනය කෙරිණි.

සිලෝන් බෙවරේජ් සහ ලයන් බෘවරි (සිලෝන්) යන සමාගම් වෙත සම්බන්ධවීමට පෙරාතුව ඒ මහතා කාර්සන් කුම්බර්බැච් සමූහයට අයත් කාර්සන් කුම්බර්බැච් පීඑල්සී, බුකිට් ඩරාහ් පීඑල්සී ඇතුළු තවත් සමාගම් කිහිපයක් හා සම්බන්ධව සිටියේය. සිලෝන් බෙවරේජ් සහ ලයන් බෘවරි යන සමාගම් කාර්සන්ස් සමාගමට අයත්ව තිබේ.

එම සමාගම හා සම්බන්ධවීමට පෙරාතුව සුරේෂ් ෂා මහතා ලංකෙම් සිලෝන් පීඑල්සී සහ යුනයිටඩ් මෝටර්ස් පීඑල්සී යන සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙසින්ද කටයුතු කර ඇත.

කලක් ලංකා වාණිජ මණ්ඩලයේ මෙන්ම ලංකා සේවා යෝජකයන්ගේ මණ්ඩලයේද සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති සුරේෂ් ෂා මහතා කටයුතු කර ඇත. එසේම  සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසද ඔහු කටයුතු කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

Visits: 342