මෙරට පාරිභෝගික නිෂ්පාදන 30 කට ඔස්ට්‍රියාවේ වෙළඳපොළ ඇරේ

ඔස්ට්‍රියාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, ඔස්ට්‍රියාව තුළ අලෙවි කළ හැකි ශ්‍රී ලාංකික පාරිභෝගික නිෂ්පාදන භාණ්ඩ  30 ක් සඳහා තරඟකාරී සැපයුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට එරට එම්ටීසී එක්සොටික් සමාගම සැලසුම් කර තිබෙන බව වියෙනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව එම්ටීසී එක්සොටික් සුපිරි වෙළඳසැලෙහි සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කිසිදු වියදමකින් තොරව වියානා හි නගර මධ්‍යයේ ස්ථානගත කිරීම සඳහා වෙළඳපොළ රාක්කවල ඉඩකඩ ලබා ගැනීමට තානාපති කාර්යාලට මේ වන විටත් හැකි වී තිබේ. මෙම මුලපිරීම මඟින්  ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ඔස්ට්‍රියාවේ නව වෙළඳපොළ අවස්ථා ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයිද තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම්ටීසී එක්සොටික් යනු ශක්තිමත් පාරිභෝගික පදනමක් සහිත ඔස්ට්‍රියාවේ ජනප්‍රිය සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකා නිෂ්පාදන ස්ථානගත කිරීමට සහ වෙළඳපොළ කොටස ඉහළ නැංවීම සඳහා කදිම වේදිකාවක් සපයනු ඇත.

Visits: 338