MillenniumIT ESPසමාගම රිදී ජුබිලිය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පද්ධති සැලසුම් හා තාක්ෂණික සේවා සැපයුම් සමාගමක් වන Millennium I.T. E.S.P. පුද්ගලික සමාගම හෙවත් MillenniumIT ESP, තම 25 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් පසුගියදා සමරන ලදී.

වසර විසි පහක් මුළුල්ලේ විශිෂ්ට සේවා සැපයූ, ගෝලීය වෙළෙඳපොළ තුළ තම සන්නාමය ප්‍රචලිත කළ හා සිය ගනුදෙනුකරුවන්ට අනාගතවාදී ව්‍යාපාර විසඳුම් රැසක් පිරිනැමූ, කීර්තිමත් ඉතිහාසයක් හිමිMillenniumIT ESP සමාගම තම රිදී ජුබිලි සංවත්සරය සමරන්නේ ශක්තිමත් ව්‍යාපාර පදනමක් හෙබි දැවැන්තයෙකු ලෙසිනි.

සියයට සියයක් ම දේශීය තොරතුරු තාක්ෂණ සමාගමක් වන MillenniumIT ESP, තවදුරටත් වර්තමාන හා අනාගත ව්‍යාපාරික අභියෝග විසඳීමට සහාය වන්නා වූ ජව සම්පන්න, නම්‍යශීලී හා අනාගතවාදී තාක්ෂණ විසඳුම් පිරිනැමීමට කැපවී සිටියි. ඒ හරහා නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ව්‍යාපාර ක්‍ෂේත්‍රය තුළ සාර්ථක වීම සඳහා තම ගනුදෙනුකරුවන්ටදැවැන්ත ශක්තියක් වීමට මෙම තොරතුරු තාක්ෂණ දැවැන්තයා සමත්ව සිටියි.

මෙහිදී අදහස් දක්වමින් MillenniumIT ESP හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ බොහෝ නවෝත්පාදන හඳුන්වා දීමට මෙන්ම තිරසාර වර්ධනයකට ද මුල් වූ MillenniumIT ESP හි විසි පස් වැනි සංවත්සරය මහත් අභිමානයකින් යුතුව සමරන බව ය.

“අප ආයතනයේ සාර්ථකත්වය සඳහා වූ පදනම වන්නේ කාර්ය මණ්ඩලය, ආචාර ධර්ම සහ ආයතන සංස්කෘතියයි. එය සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත ගොඩනැඟුණු ශක්තිමත් පදනමක්. එනම්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ආයතනයට ලැදිව ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා. ඒ වගේම ආයතන කළමනාකාරීත්වයත් කණ්ඩායම් හැඟීම, නවෝත්පාදනය, ධනාත්මක සබඳතා බලගැන්වීම හා ප්‍රතිඵල අරමුණු කරගත් මනසකින් යුතුව ක්‍රියාත්මක වෙනවා”, ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු කාලය තුළ ආයතනයේ කාර්ය මණ්ඩලය 400කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වූ අතර, ඔවුහු ගෝලීය ගනුදෙනුකරුවන් සමූහයක් වෙත විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා බහු විධ තාක්ෂණික විසඳුම් සැපයීමෙහි නිරතව සිටිති. එහිදී Oracle, CISCO, Dell, Microsoft, IBM, හා Edgeverve (“Infosys”) වැනි ගෝලීය සමාගම් සමඟ සහයෝගීතාවන්ට එළඹීමට ද MillenniumIT ESP ආයතනය සමත්ව තිබේ. තව ද ගතවුණු කාලය අතරතුර සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා කාර්යසාධනය පදනම් කරගනිමින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළව ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද මෙම ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ සමාගමට හැකි වී ඇත.

මේ අතර දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යවසාය තාක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන MillenniumIT ESP සිය ගෝලීය හවුල්කාරිත්වයන් සමඟ එක්ව නවීන තාක්ෂණික පහසුකම් සමඟින් දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට විශ්වාසනීය හා පරිමාණීය ව්‍යවසාය තාක්ෂණ හඳුන්වා දී තිබේ. දේශීය වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ආසියාටා හා මොබිටෙල් ශ්‍රී ලංකා සහ සෙසු සියලු දුරකථන සන්නිවේදන සමාගම්වලට අත්‍යවශ්‍ය සේවා පද්ධති (Servers), ධාරිතා පහසුකම්, ඒකාබද්ධ දත්ත පද්ධති හා බැකප් (Backup)විසඳුම් ආදිය ද MillenniumIT ESP පිරිනමයි.

අනාගතයේදී ද හැකි සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගනිමින් වර්ධනය කරා ගමන් කිරීම MillenniumIT ESP සමාගමේ ව්‍යාපාරික දැක්ම වී තිබේ. එහිදී ගෝලීය තාක්ෂණික විසඳුම් සපයන්නෙකු ලෙස, රාජ්‍ය අංශය, සෞඛ්‍ය අංශය, සංචාරක හා දේපළ වෙළෙඳාම් වැනි අංශ කෙරෙහි වැඩි දායකත්වයක් සැපයීමට ද සමාගම අපේක්ෂා කරයි.

එමෙන්ම ඉදිරියේදී තම නිෂ්පාදන හා විසඳුම් ජාලය තවදුරටත් පුළුල් කරගැනීමට හා ශක්තිමත් පද්ධති ඒකාබද්ධකරණ හැකියාවන්ගෙන් ඔබ්බට යමින්, මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය හරහා තම ගනුදෙනුකරුවන්ට වැඩිදියුණු කළ ක්ලවුඩ් යෙදවුම් (SaaS) විසඳුම් පිරිනැමීමට ද සමාගම බලාපොරොත්තු වෙයි.

ඊට අමතරව කලාපීය හා ගෝලීය වශයෙන් තවදුරටත් ව්‍යාපාර ව්‍යාප්තිය පුළුල් කිරීමටත් සැලසුම් දියත් කරමින් සිටියි. තව ද නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් තම ප්‍රධාන තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමත්, නිසි ආයෝජන හරහා බුද්ධිමය දේපළ සංවර්ධනය හා අත්පත් කරගැනීමත් MillenniumIT ESP හි අනාගත අරමුණු වී තිබේ.

Visits: 103