ලොව ප්‍රකට ආයෝජකයාගේ ලංකාගමනය වෙළෙඳ පොළ ආකර්ෂණය ඉහළ දැමුවාද?

අද දිනයේදී (ජනවාරි 15) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිට නිමාව තෙක්ම පෙන්නුම් කළ ගැනුම්බරතාව හේතුවෙන් එතෙක් මෙතෙක් සමස්ත කොටස් මිල දර්ශකය දිනක් තුළ පත් වූ ඉහළම අගයට ළගා වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම LOLC සමූහයේ සමාගම් තුළ මෙන්ම විවිධාංගීකරණය වූ සමාගම් කිහිපයක් තුළ පෙන්නුම් කළ කොටස් මිල ඉහළ  යාම මේ සඳහා දායක වී ඇත. මෙහිදී විශේෂයෙන්ම දිනයේ ගනුදෙනු ඉහළ යාම සඳහා ලොව ප්‍රකට ආයෝජකයෙකු වන නතානියෙල් රොත්ස්චයිල්ඩ්ගේ මෙරට සංචාරයද හේතු වූ බව කොටත් තැරැව්කාර සමාගම් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,503.65ත් ඒකක 7,761.65 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,743.57 ක් බවට පත්විය. එය පෙරේදා (ජනවාරි 13) දිනයට සාපේක්ෂව ඒකක 291.34 ක් එනම් +3.91%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, ටෝකියෝ සිමෙන්ට් කම්පැනි පීඑල්සී සහ අමායා ලෙෂර් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 10%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 130ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+49.19), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+28.62), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+24.8),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+19.61), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+16.93),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-5.39),  නෙස්ලේ ලංකා පීඑල්සී  NEST (-2.89),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (-2.57), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.77), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-1.68)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,902.98 ක අගයක් ගත් අතර, එය පෙරේදා (ජනවාරි 13) දිනයට සාපේක්ෂව ඒකක 120.81 ක එනම් +4.34%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (ජනවාරි 13දා) වාර්තා කළ රුපියල් බිලියන 9.06ට සාපේක්ෂව 38% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.38ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.20%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 122.12ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 300.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 178.12කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.58ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 72.93කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.65කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 70.59ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,729ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,348ක සහ රුපියල් මිලියන 2,065දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 351