On’ally Holdings වැඩි කොටස් හිමිකමත් සමග ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී වර්ධනය ඉහළට

බම්බලපිටියේ පිහිටි සුප්‍රසිද්ධ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල හිමි On’ally Holdings PLC හි කොටස් අතරින් 51%ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සමත්වීමත් සමගින්ම ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ වර්ධනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.

එසේම කොළඹ කොටස් හුවමාරුවේ 35 වැනි සංවත්සරය යෙදුණු දා සිදුවුණු මෙම ගනුදෙනුවෙන් එහි කටයුතු වෙතද ඉහළ දිරි ගැන්වීමක් හිමිව ඇති බවත් විශ්ලේෂකයෝ පවසා සිටිති.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව හරහා සිදු වුණු මෙම ගනුදෙනුවේදී ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම On’ally Holdings PLC හි තමන් සතු කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තවත් සමාගම් හතරක කොටස් මිලදී ගැනීමක් සිදු කර තිබුණි. එහිදී සිදු වුණු සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.4 කි.

ඒ අනුව රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් රේනුකා කැපිටල් පීඑල්සී වෙත අයත්ව තිබූ On’ally Holdings PLC හි කොටස් මිලියන 93ක් රුපියල් 30.20 බැගින් මැලදී ගැනීම සඳහා එම සමාගම වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1.4 කි. එසේම පෙට්‍රෝ එනර්ජි ලංකා සහ කිරිමන්ජාරෝ ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ 2% බැගින් වූ කොටස් ප්‍රමාණයක්ද මෙහිදී මිලදී ගෙන ඇත. මීට අමතරව අෂ්ති හෝල්ඩිංග්ස් සහ කැපිටල් එලයන්ස් සතුව තිබූ 1% බැගින් වූ කොටස් ප්‍රතිශතයක් තැරැව්කරුවෙකු මාර්ගයෙන් මෙහිදී මිලදී ගෙන ඇත.

මෙම අත්පත් කර ගැනීමත් සමගින්ම On’ally Holdings PLC හි පැවැති කොටසක වටිනාකම රුපියල් 33.80 සිට රුපියල් 42.10ක් දක්වා රුපියල් 7.30කින් එනම් 27.5%කින් ඉහළ නැග ඇත. එසේම ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 39.70ක් දක්වා රුපියල් 5.30 කින් එනම් 15.4%කින් ඉහළ නැග තිබේ.

එසේම On’ally Holdings PLC හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන්නේ 44.8%ක ප්‍රතිශතයක් හිමි නාගරික සංවරෟධන අධිකාරියයි. එසේම තවත් කොටස් හිමිකරුවන් 888 දෙනෙකු සතුව කොටස් 10.85%ක ප්‍රතිශතයක් බෙදී ගොස් ඇත.

මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී හි සහ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ හාර්ඩි ජමල්ඩීන්, මෙම මිලදී ගැනීම සිය සමාගමේ යටතේ පවතින ව්‍යාපාර අංශ හා ගැලපෙන බව සඳහන් කර තිබේ.

2020 මූල්‍ය වර්ෂය අවසන් වන විට ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 11.6 කි. බ්ලොක් ගල් සහ ඇතුරුම්ගල් නිෂ්පාදනයේ සුප්‍රසිද්ධ  සන්නාමයක් වන ඇම්ට්‍රැඩ් ලිමිටඩ් සමාගමද ඇතුළුව ඉදිකිරීම් සහ ලෙෂර් අංශය තුළ එම සමාගම සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර තිබේ.

2020 මූල්‍ය වසරේදී සමාගම රුපියල්මිලියන 204ක පිරිවැටුමක් අත් කරගැනීමට සමත් වූ අතර, එය ඊට පෙර වසරේදී සමාගම අත්පත් කරගත් රුපියල් මිලියන 149ක පිරිවැටුමට සාපේක්ෂව ඉහළ යාමකි. ඒ අනුව On’ally Holdings PLC අත්පත් කරගැනීමත් සමගින්ම ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි නව වර්ධන අවස්ථා උදාකරනු ඇතැයි විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

Visits: 330