සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී CSE හි දිරිසවි පුවරුවට

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගමක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රෙගුලාසි 7.13.1 යටතේ අවම මහජන කොටස් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවන්ට අනුකූල නොවීම ඊට හේතු වී තිබේ.

ඒ අනුව 2020 දෙසැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ලැයිස්තුගත කිරීම සිදු වන බවත්, සමාගමේ ඉල්ලීමක් අනුව මෙම කටයුතු සිදුවන බවත් කොළඹ කොටස් හුවමාරුව දන්වා සිටියි.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය නොවැම්බර් 09 වැනිදා දක්වාම කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත කෙරී තිබුණි.

එහෙත් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රෙගුලාසි 7.13.1 යටතේ අවම මහජන කොටස් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවන්ට අනුකූල නොවීමත් සමගින්ම සමාගම එදින සිට එහි දෙවැනි පුවරුව වෙත ඇතුළත් කෙරිණි.

ඒ අනුව දෙසැම්බර් 02 වැනිදා සිට සමාගමේ ඉල්ලීමකට අනුව දිරිසවි පුවරුව වෙත ඇතුළත් කර ඇත්තේ මෙලෙස දෙවැනි පුවරුවේ ලැයිස්තුගත කෙරී තිබුණු සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13ට අනුව අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය (Minimum Public Holding Requirements) පවත්වාගැනීමට අපොහොසත්වන සමාගම් මෙලෙස දෙවන පුවරුවට ඇතුළත් කෙරේ. ප්‍රධාන පුවරුවෙහි මෙම ප්‍රතිශතය 25%ක් වන අතර, දිරිසවි පුවරුවෙහි එය 10%කි.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13.2ට අනුව පසුගිය සැප්තැම්බර් 14 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, 2020 සැප්තැම්බර් 07 වැනිදා වන විට සමාගමේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 1,657,551,582.49 කි. එහිදී මහජන කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 12.99ක් වූ අතර මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 10,941කි.

ඒ අනුව  එම අවස්ථාවේදී ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගතව සිටි සමාගම මෙම අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ රීතියට අනුකූලවීම සඳහා පියවර අනුගමනය කරමින් සිටින බවද  එහිදී පවසා තිබුණි.

මෙලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13.1(a) දරන අවම මහජන කොටස් හිමිකම් ප්‍රතිශතයක් පවත්වාගෙන යාමට අපොහොසත්වීමත් සමගම රීති අංක 7.13.2 යටතේ ලැයිස්තුගත සමාගමක් පිළිපැදිය යුතු නියාමන කොන්දේසි අනුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි පැවසෙයි.

Views: 332