වෙළෙඳ පොළ පිළිබඳව තනි පුද්ගල ආයෝජකයන්ගේ ශුභවාදී ආකල්පය ඉදිරියටත්

රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය එලෙසින්ම පැවතියත් කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් සාර්ථකව ඉදිරියට ඇදෙන බව අද දිනයේ සිදු වූ ගනුදෙනුවලින්ද පැහැදිලිව පෙනෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ගෝලීයව නව කොරෝනාවට එරෙහි එන්නතේ සාර්ථකත්වයත් සමගින්ම තනි පුද්ගල ආයෝජකයන් තවදුරටත් වඩාත් ක්‍රියාකාරීව සහ සර්වශුභවාදීව වෙළෙඳපොළ තුළ ගනුදෙනු සිදු කරන බවත් ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,342.43ත් ඒකක 6,370.28ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,345.84 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 01) දිනයට සාපේක්ෂව එය ඒකක 28.38 ක් එනම් +0.45%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඇම්බිඔන් හෝල්ඩිංග්ස් පීඑල්සී, සෙලාන් බැංකුව සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 8෴ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 111ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැන් පීඑල්සී CTC (+9.13), ඔවර්සීස්  රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (+2.28),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+2.11),  සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (+1.94),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.13), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-1.91), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-1.84), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.79), වැලිබල් වන් පීඑල්සී VONE (-1.24)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,512.55 ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ ( දෙසැම්බර් 01) දිනයට සාපේක්ෂව ඒකක 14.63 ක එනම් +0.59%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 01දා) වාර්තා කළ රුපියල් බිලියන 2.53ට සාපේක්ෂව 11%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.77ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 2.74%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 28.55ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 247.34 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 218.79කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.30ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්වීඑල් එනර්ජි ෆන්ඩ්ස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.50කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 121.88ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 543ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග හා දුම්කොළ අංශ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 437ක සහ රුපියල් මිලියන 253ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 273