ආයෝජකයන්ගේ වැඩි පරෙස්සම නිසා දර්ශක අගයන් පහළ බසී

අද දිනයේදී  (නොවැම්බර් 23) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තුළදී ආයෝජකයන් පෙන්නුම් කළ වඩාත් පරෙස්සම් සහගත ස්ථාවරය හේතුවෙන් දිනය වැඩි අවස්ථාවලදී දර්ශක අගයන් ඍණ බවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය තුළදී නිෂ්පාදන අංශයේ සමාගම්වල කොටස් සම්බන්ධයෙන් ධනාත්මක ලක්ෂණ පැවතුණි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,067.62ත් ඒකක 6,103.52ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,072.07 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (නොවැම්බර් 20) දිනයට සාපේක්ෂව එය ඒකක 12.93 ක් එනම් -0.21%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනය තුළ පිරිවැටුම සඳහා කිසිදු පෙර කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ගනුදෙනු දායක වී නොමැති අතර සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී තිබේ.

එසේම ඊයේ දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 68ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+3.07), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+2.93), සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී CCS (+2.75),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.12), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+1.6),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-5.27), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.5), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.33),  වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී WATA (-1.86සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-1.85යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,388.54 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 20) දිනයට සාපේක්ෂව ඒකක 1.73 ක එනම් -0.07%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැ 20දා) වාර්තා කළ රුපියල් බිලියන 1.50ට සාපේක්ෂව 18%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.65ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.13%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 46.76ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 62.23 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 15.47කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.93ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.76කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 43.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 484ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 39% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 204ක සහ රුපියල් මිලියන 152ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 228