නෝර්වීජියානු ආයෝජන අරමුදල මෙරට තුළ නව විශාල ආයෝජන අවස්ථා තුනක් සොයයි

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 30ක් දුන්නේ පළමු අදියර යටතේලු

දෙවැනි අදියර යටතේ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර වෙත ආයෝජනය කරනවාලු

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි ටෙලෙෆ් තෝර්ලිෆ්සන් මහතා පවසා සිටියි. නොර්වීජියාවේ ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව නෝර්වේ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා තානාපති කුරේ මහතා නෝර්වීජියානු මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අතර දැනටමත් ගිවිසුම්ගත ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව පෙන්වා දී තිබේ.

ඒ අනුව නෝර්ෆන්ඩ් (Norfund), ෆින්ෆන්ඩ් (Finfund), හා මුනිච්රි (MunichRe), ශ්‍රී ලංකාවේ සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ පුද්ගලික සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ආයෝජනය කර තිබෙන බව තානාපතිවරයා මෙම සාකච්ඡාව පවත්වමින් හෙළි කර ඇත.

ආසියාවේ ජීවිත රක්ෂණ සම්බන්ධයෙන් කළ පළමු ආයෝජනය මෙය වූ බවද තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කර තිබේ. සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් තෙවැනි ස්ථානය හිමි කර ගනියි.

ඒ අනුව පළමු අදියරේදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන ඉලක්ක කරගන්නා බවත්, දෙවැනි  අදියරේදී  බලශක්ති අංශයේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කරන බවත් තෝර්ලිෆ්සන් මහතා අවධාරණය කර ඇත. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ ජල විදුලි ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට ඉලක්ක කර ඇත්තේ ඒ යටතේ වන බවද ඔහු හෙළිදරව් කර තිබේ.

එසේම එම ආයතනය මේ දිනවල ශ්‍රී ලංකාවේ විශාල නව ආයෝජන තුනක් සොයමින් සිටින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සහ දිළිඳුභාවය අඩු කිරීම සඳහා නෝර්වීජියානු රජයේ ඉතාම වැදගත් මෙවලම නෝර්ෆන්ඩ් වන බව තෝර්ලිෆ්සන් මහතා තවදුරටත් විස්තර කර ඇත.

“නෝර්ෆන්ඩ් වෙත පැවරී ඇති බලතල 1997 නෝර්ෆන්ඩ් පනතෙන් අර්ථ කථනය කරයි. ව්‍යාපාර කොටස් ප්‍රාග්ධනය හා වෙනත් අවධානම් ප්‍රාග්ධන ලබාදෙමින් සංවර්ධනය වන රටවල තිරසර ව්‍යාපාර හා කර්මාන්ත ගොඩනැගීමේදී සහාය ලබාදීම නෝර්ෆන්ඩ් හි කාර්යභාරය බව මෙම පනත මඟින් ප්‍රකාශ කෙරේ. තව ද, ඉහළ අවධානම් තත්ත්වයක්  හේතුවෙන් වෙනත් ආකාරයකින් සංවර්ධනය නොවන තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට මෙම නෝර්ෆන්ඩ් උපකාර කරයි.” තෝර්ලිෆ්සන් මහතා පවසා තිබේ.

Norfound ප්‍රධාන විධායක නිලධාරි තෝර්ලිෆ්සන් සහ ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහත්වරුන්

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අංක 01 දිළිඳුභාවය තුරන් කිරීම සඳහා වන බව තානාපති කුරේ මහතා පැහැදිළි කර ඇත.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තිරසාර වර්ධනය, සමාජ සංවර්ධනය සහ ආයතනික ගොඩනැගීම සම්බන්ධයෙන් සංවර්ධන ආධාර කර්මාන්තමය වෙත අවධානය යොමු කළ යුතු ය. නෝර්ෆන්ඩ් ආයතනය, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙන් මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා දායක වෙමින් සිටියි.

පිරිසිදු බලශක්තිය, මූල්‍ය ආයතන, හරිත යටිතල පහසුකම් සහ පරිමාණ කළ හැකි ව්‍යවසාය ඇතුළත් වන ආයෝජන ක්ෂේත්‍ර හතරක ආයෝජන සඳහා නෝර්ෆන්ඩ් ප්‍රමුඛත්වය ලබා දෙයි. සමාගම් පවතින්නේ ඒවා ලාභදායී නම් පමණක් බව තානාපතිතුමා ප්‍රකාශ කර තිබේ. තිරසාර රැකියා උත්පාදනය සහ දිගුකාලීන සංවර්ධන ප්‍රතිඵල සඳහා ලාභදායීතාව අත්‍යාවශ්‍ය වන බව මෙයින් අදහස් වෙයි.

නෝර්ෆන්ඩ් ආයතනය, ක්‍රියාකාරී හිමිකාරිත්වය සහ ව්‍යාපාර සංවර්ධන සහාය තුළින් ලාභදායීබව හා සංවර්ධන ප්‍රතිඵල වැඩිදියුණු කරයි. ආරම්භයේ සිටම නෝර්ෆන්ඩ් හි ආයෝජන මුදල්වලින් ප්‍රකාශිත අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය (IRR) 6% ක් විය. (2019 අවසානය වන විට)

සමාගම් ලබාදෙන සෘජු හා වක්‍රාකාර රැකියා, සමාගම් ලබාදෙන භාණ්ඩ හා සේවා, එම සමාගම් ගෙවන බදු තුළින් ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබාදෙයි නම් එම සමාගම්වල මෙම නෝර්ෆන්ඩ් ආයතනය ආයෝජනය කරයි.

1997 නෝර්ෆන්ඩ් නීතිය තුළින් නෝර්වේජියානු පාර්ලිමේන්තුව විසින් මෙම නෝර්ෆන්ඩ් ආයතනය ස්ථාපනය කොට තිබේ. නෝර්වේජියානු ජාත්‍යන්තර සංවර්ධන සහාය අයවැයෙන් මෙම නෝර්ෆන්ඩ් සඳහා පූර්ණ වශයෙන් අරමුදල් සැපයේ. නෝර්ෆන්ඩ් හි වාර්ෂික ප්‍රාග්ධන වෙන්කිරීම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබේ.

නෝර්ෆන්ඩ් හි ආයෝජන කමිටුව (IC) ගුණාත්මක තත්ත්ව සහතිකය සහ වඩාත් හොඳ තීරණ ගැනීම යන දෙක සඳහාම වැදගත් ආයතනයක් වෙයි. මෙම ආයෝජන කමිටුවේ ප්‍රධානියා ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, සාමාජිකයන් අටදෙනෙකුගෙන් සමන්විත වෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් බාහිර පුද්ගලයන් ය.

ඇමරිකානු ඩොලර් මිලියන 4 දක්වා වූ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකරණ කණ්ඩායමට තීරණ ගත හැකි අතර, ඇමරිකානු ඩොලර් මිලියන 4 – ඇමරිකානු ඩොලර් මිලියන 15 දක්වා වූ ආයෝජන හා වාණිජමය බැහැර කිරීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙම ආයෝජන කමිටුව වෙත බලය පැවරේ. ඇමරිකානු ඩොලර් මිලියන 15ට වැඩි ආයෝජන යෝජනා සමාලෝචනය කිරීම ද මෙම ආයෝජන කමිටුව මඟින් සිදුකළ යුතු අතර අවසාන අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කළ යුතු වේ.

මූල්‍යමය වශයෙන් ශක්තිමත්, සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර ව්‍යාපාර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රධාන විධායක නිලධාරි තෝර්ලිෆ්සන්  මහතා ප්‍රකාශ කර ඇත.

ඔවුන්ගේ ව්‍යාපාර කොටස්  තුලනයේ නෝර්වීජියානු ක්‍රෝන බිලියන 30ක් තිබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. එයින් 50%ක ආයෝජන අප්‍රිකානු කලාපය සඳහා ද ඉතිරිය ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද වෙයි. පෙරදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජියාව, ලාඕසය, වියට්නාමය යන රටවල ආයෝජන කෙරෙහි ද ඉන්දියාවේ වක්‍රාකාර ආයෝජන කෙරෙහි ද අවධානය යොමුකොට තිබේ. පසුගිය වසරේ නෝර්ෆන්ඩ් හි අවධානය යොමු වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව සලකනු ලැබේ.

ඉන්දියානු සාගරයේ මැද පැවතීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් බොහෝ පාර්ශ්වවල ආකර්ෂණය ශ්‍රී ලංකා‍ව වෙත යොමු වී තිබේ. අපගේ විදේශ ප්‍රතිපත්තිය අනුව, ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙන බවත්, අප රටේ යහපත උදෙසා ආර්ථික සබඳතා හා අභ්‍යන්තරික/ බහුපාර්ශ්වික සබඳතා සමඟ ඉදිරියට යාමට අවශ්‍ය බව අවබෝධ කර ගෙන තිබෙන බවත් තානාපතිවරයා අවධාරණය කර ඇත.

තානාපතිවරයා වෙත සිය කෘතඥතාව පළකළ නෝර්ෆන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරියා, ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වශයෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදු කිරීම තුළින් තම සංවර්ධන සහාය අඛණ්ඩව ලබාදෙන බව දන්වා තිබේ.

අවසාන වශයෙන්, නෝර්ෆන්ඩ් වෙතින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආයෝජන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නියැලෙන මීළඟ සංචාරයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සම්භාවනීය පුද්ගලයන් හමුවීම සඳහා සහාය ලබාදෙන ලෙසට තෝර්ලිෆ්සන් මහතා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 381

Leave a Reply

Your email address will not be published. Required fields are marked *