ආනයන පහත වැටීමෙන් අගෝස්තුවේ වෙළෙඳ හිඟය තවත් අඩු වෙයි

2020 අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 947ක් වූ බවත්, වෙළෙද භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,289ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් -342ක් ලෙස සටහන්ව තිබේ.

එය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන -541ක වෙළෙඳ හිඟය හා සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් බවද මහ බැංකුව සඳහන් කරයි. 2019 වසරේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1,033 ක් ලෙස සටහන්වූ අතර, ආනයන වියදම ඩොලර් මිලියන 1,574  ක් විය.

ඒ අනුව පසුගිය වසර හා සාපේක්ෂව මේ වසරේදී අපනයන පහළ යෑමේ වේගයට වඩා ආනයන පහත වැටීමේ වේගය වැඩිවීම මෙලෙස වෙළෙඳ හිඟය අඩුවීම සඳහා හේතු වී තිබේ.

මෙහිදී ආහාර හා පාන වර්ග ඇතුළත් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම -31.2% කින්ද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ -42.8% කින්ද පහත වැටී ඇත. එසේම ඉන්ධන ඇතුළු අන්තර් භාණ්ඩ ආනයනය වියදම -8.4%කින් පහත වැටී ඇත. මීට අමතරව යන්ත්‍රසූත්‍ර හා උපකරණ ඇතුළු ආයෝජන භාණ්ඩ ආනයන වියදම -28.5%කින් පහත වැටී තිබේ.

මේ අතර 2020 වසරේ ජනවාරි මාසට අගෝස්තු දක්වා වූ කාල සීමාව සඳහා වන වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,812ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වෙළෙඳ හිඟය ලෙස වාර්තා වූ ඩොලර් මිලියන 4,855 හා සැසඳීමේදී ඩොලර් බිලියනයකට ආසන්න අඩු වීමකි.  

මෙලෙස ජනවාරි සිට අගෝස්තු දක්වා වෙළෙඳ හිඟය අඩුවීම සඳහා හේතු වූ ප්‍රධාන අයිතම කිහිපයක්ද මහ බැංකුව මගින් විස්තර කර දී සිටියි.

ඒ අනුව එළවලු සම්බන්ධයෙන් වූ ඩොලර් මිලියන 5ක අපනයන ඉහළ යෑම, ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් වූ ඩොලර් මිලියන 23.4ක ඉහළ යෑම සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත සම්බන්ධයෙන් වූ ඩොලර් මිලියන 30.3ක අපනයන ඉහළ යෑම මේ අතරින් ප්‍රධාන වෙයි.

එසේම ප්‍රවාහන උපකරණ ආනයන වියදම ඩොලර් මිලියන 124.9කින් පහත වැටීම, පෞද්ගලික රථවාහන ආනයන වියදම ඩොලර් මිලියන 215.6 කින් පහත වැටීම, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයන වියදම ඩොලර් මිලියන 285.6 කින් පහත වැටීම, ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම ඩොලර් මිලියන 335.5 කින් පහත වැටීම, රෙදි පිලි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ඩොලර් මිලියන 419.7 කින් පහත වැටීම මෙන්ම ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 885.6 කින් පහත වැටීම මේ සඳහා හේතු වී තිබේ.

Views: 607