ඇමෙරිකානු වාහන වම දකුණ හරවා ඔස්ට්‍රේලියාවට යවන ලංකාවේ AGI

ඇමෙරිකාවේ සහ යුරෝපයේ නිෂ්පාදිත මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වා එය ඔස්ට්‍රේලියානු මෝටර් රථ වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට නැවත සකස් කර  ඔස්ට්‍රේලියාවට අපනයනය කරනු ලබන සමාගමක් ලෙස Autogroup International (Pvt) Ltd (AGI) ආයතනය සිය මෙහෙයුම් සිදු කරයි.

කඩුවෙල පිහිටි මෙම AGI සමාගම  100%ක්ම ඔස්ට්‍රේලියානු සමාගමකි. 1994 දී ආරම්භ කළ අතර, මෝටර් රථ ප්‍රතිනිර්මාණය අතින් (ධාවනය කරනු ලබන පැත්ත වෙනස් කිරීම) ඉදිරියෙන්ම සිටින සමාගමක් බවද පැවසෙයි.  

ඇමෙරිකානු මෝටර් රථ Chevrolet – Camaro හා Silverado, Cadillac – Escalade, Ford – F150, F250 හා Shelby Mustang, Dodge – RAM, Challenger, Charger, GMC – Yukon, Denali හා Sierra, Hummer – H2, & H3, Lincoln – Navigator වැනි වාහන ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළට ගැලපෙන අයුරින් නැවත සකස් කරනු ලැබේ.

මීට අමතරව Nissan Titan හා Toyota Tundra වැනි ජපාන සහ උතුරු ඇමෙරිකානු මෝටර් රථ මාදිලිත් මෙහිදී සකස් කරයි. මෙම කර්මාන්තශාලාවේ ඇති විශේෂත්වය වන්නේ නැවත සකස් කරනු ලබන සියලු වාහන අමතර කොටස් ආදිය දේශීය ඉංජිනේරුවන් විසින් නිර්මාණය කිරීම බවද සමාගම පවසයි.

මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද පසුගියදා මෙම කර්මාන්ත ශාලාව නැරඹීමට එක් වූ බව එම සමාගම පවසයි. රටට විශාල විදේශ විනිමයක් රැගෙන එන ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ මෙවැනි කර්මාන්ත සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් එම කර්මාන්ත වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසූ බවත් සමාගම සඳහන් කර සිටියි.

Visits: 351