“ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්තානයක් බවට දියුණු කරන්න” – ජනපති නිලධාරීන්ට පවසයි

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා පවසයි. ඒ අනුව ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියි.

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරිම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබේ.

“රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතුයි. එසේම කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්තවල සංවර්ධනය වේගවත් කළ යුතුය.” ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වීම වැදගත් බවත් හෙතෙම පවසා ඇත.

මේ අතර රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

රජය මැදිහත්වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළ යුතු බවත් මෙහිදී යෝජනා වී ඇත. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට  ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය.

මීට අමතරව විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු මෙන්ම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය  ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ එක්ව ඇත.

Visits: 88