ආයෝජකයන් තුළ පැවැති විශ්වාසනීයත්වය තවදුරටත් ඉහළට

දේශීය ආයෝජකයන් තුළ ඊයේ දිනයේ පෙන්නුම් කළ ගැනුම්බරතාව තවදුරටත් සටහන් කරමින් අද (සැප්තැම්බර් 15) දිනයේදී කැපී පෙනෙන ලෙස කොටස් මිලදී ගැනීමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී ආයෝජකයන් තුළ විශ්වාසනීයත්වය තවදුරටත් ඉහළ  යාමක් පෙන්නුම් කිරීම මේ සඳහා හේතුවී ඇත. එසේම වටිනා කොටස්හි අගයන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර, තවත් කොටස් කිහිපයක මිලද ඉහළ නැගීමක් සිදු වෙමින් පවතින බවද එම තැරැව්කාර සමාගම් තවදුරටත් පවසා සිටියි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,507.06 ත් ඒකක 5,547.50 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,533.69ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 14) දිනයට සාපේක්ෂව එය ඒකක 43.09 ක් එනම් 0.78%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනු ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 28%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී  DIST (+10.58), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+8.90), එක්ස්පෝ ලංකා පීඑල්සී EXPO (+7.65), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.03), හේලීස් පීඑල්සී HAYL (+2.33), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.30), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.15),  ඩයලොග් ආසිආටා පීඑල්සි DIAL (-1.87), කොමර්ෂල් බැංකුව COMB (-1.58)  සහ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-1.44) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,389.33 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 14) දිනයට සාපේක්ෂව ඒකක 6.56 ක එනම් 0.28%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.2ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 2.29 ට සාපේක්ෂව 40%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.40 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.65%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 50.94ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.02ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 970.18 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.98ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය  හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.4කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 809.51ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.22ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය සහ ප්‍රවාහන දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 413ක සහ රුපියල් මිලියන 398ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 158