මහ බැංකු තීරණයත් සමගම වෙළෙඳ පොළ පිබිදීමක්

අද (සැප්තැම්බර් 09) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු, ගත වූ ආසන්න දින කිහිපයට සාපේක්ෂව කැපී පෙනෙන පිබිදීමක් පෙන්නුම් කිරිමට සමත්විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ බැංකු සතු කොටස්හිමිකාරීත්වය සීමා කිරීම පිළිබඳ උපදෙස් ඇතුළත් නිවේදනය මෙන්ම බැංකු හරහා ලබා ගන්නා ණය ප්‍රමාණයේ සිදු වූ වර්ධනයන් යනාදී කාරණා දේශීය ආයෝජකයන් තුළ වෙළෙඳ පොළ පිළිබඳ යම් විශ්වාසයක් ඇති කිරීමට හේතු වීම මේ සඳහා බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී රුපියල් බිලියන තුන ඉක්මවූ දිනයේ සමස්ත පිරිවැටුම සඳහා 55%ක දායකත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙතින් දැරීමත් විශේෂත්වයක් වූ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය ඊයේ (සැප්තැම්බර් 08දා) ට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,337.86 ත් ඒකක 5,370.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,370.39ක් බවට පත්විය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව එය ඒකක 54.34 ක් එනම් 1.02%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනු ලෙස ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ඩීඑෆ්සීසී බැංකුව, ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සහ මෙල්ස්ටාකෝර්ප් සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 41%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 115ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 48ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+7.48), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.07), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.65), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+4.15), කොමර්ෂල් බැංකුව COMB (+3.17), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.86), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.43),  ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-1.00), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (-0.92)  සහ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-0.69) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,334.76 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 08) දිනයට සාපේක්ෂව ඒකක 27.12 ක එනම් 1.18%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.13ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.26 ට සාපේක්ෂව 150%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.33 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.14%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 48.30ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.34ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.29 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 34.54ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඇලුමෙක්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.68කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.12ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.99ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 63% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 304ක සහ රුපියල් මිලියන 255ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 311