රජයේ කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන්ට භාණ්ඩාගාරයෙන් සහායක්

රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වෙත බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිඟ බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

‘ආර්ථික පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම’ මැයෙන් 2020 ජූනි මස 06 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට අනුව මෙම පහසුකම් සැලසීම ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට අදාළ හිඟ මුදල්වලට අදාළව මෙම ලිපි නිකුත් කිරීමට සිදු කිරීමට නියමිතය.

“මෙහිදී අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් නම් කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සඳහා පමණක් මෙම ලිපි නිකුත් කෙරෙන අතර, අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා එසේ නම් කරනු ලැබු වාණිජ බැංකුවේ කොන්ත්‍රාත්කරු නමින් විශේෂ ගිණුමක්  ආරම්භ කළ යුතු ය.” අමාත්‍යාංශය පවසයි.

මෙම හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් වරින් වර භාණ්ඩාගාරය මගින් අදාල සේවාලාභී අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට කටයුතු කරනු ලබන අතර, එම අරමුදල් භාවිත කරමින් අදාල අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්කරුවන්ගේ නමින්වු විශේෂ බැංකු ගිණුම හරහා පමණක් අදාල බිල්පත් නිරවුල් කිරීම සිදු කරන බවද මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Views: 45