කස්තුරි චෙල්ලරාජා යළිත් SLCPI ප්‍රධානී ධුරයට

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPISri Lanka Chamber of the Pharmaceutical Industry) 2020/21 වර්ෂය සඳහා වන සභාපතිනිය ලෙස යළිත් වතාවක්  හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරිනිය වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය තෝරා පත් කරගෙන ඇතැයි එම සංසදය පවසයි.

පසුගියදා පැවැති එම සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී මෙම තෝරා ගැනීම ඒකමතිකව සිදුව තිබේ. ඒ අනුව චෙල්ලරාජා මහත්මිය, දෙවැනි වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති බව එම සංසදය පවසයි.

එහිදී ඇය රජයේ හා පුද්ගලික අංශයේ කොටස්කරුවන් සමඟ එක්ව රටේ සෞඛ්‍ය සේවා න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යනු ඇතැයිද සංසදය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

සිය ප‍්‍රධාන දේශනයේදී අදහස් දක්වා සිටි චෙල්ලරාජා මහත්මිය, පුද්ගලයෙකු සිය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් තමන්ට ආවේණික ලක්ෂණවලට සරිලන පරිදි එක් එක් ආවේණික වූ ඖෂධ හා වෛද්‍ය ප‍්‍රතිකාර කරා යොමුවන බවත්, එනිසා වගකිව යුතු හා උසස් තත්වයේ ඖෂධ බෙදා හැරීමේදී ඖෂධ ක්ෂේත‍්‍රයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවත් පවසා තිබේ.

එසේම පෞද්ගලික ආනයනකරුවන් තමන් විසින්ම නියාමනය කරන ක්ෂේත‍්‍රයකට කැපවන ලෙස චෙල්ලරාජා මහත්මිය මෙහිදී ඉල්ලා ඇත. ‘‘අප සැවොම ශ්‍රී ලාංකිකයෝ. ඔව්, අප ව්‍යාපාරයන් පවත්වා ගෙන යනවා, නමුත් අපගේ ප‍්‍රමුඛතාවය විය යුත්තේ රෝගීන්ගේ සුභ සාධනයයි.’’ යනුවෙන් ඇය එහිදී අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම ඖෂධ සඳහා සාධාරණ මිල යාන්ත‍්‍රණයක් ඇතුළුව ජාතික අවශ්‍යතා සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට එකතු වීමට SLCPI දක්වන උනන්දුව පිළිබඳව ඇය මෙහිදී විස්තර කර තිබේ. එමඟින් පුළුල් පරාසයක විහිදී ගිය උසස් තත්වයේ ඖෂධ පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇතැයි ඇය පෙන්වා දී තිබේ.

‘‘සාධාරණ මිල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ එක් වීමට අප සූදානම්. මිල නියම කිරීම් සම්බන්ධ රෙගුලාසි, රුපියල අවප‍්‍රමාණය වීම, උද්ධමන අනුපාතය සමස්තයක් ලෙස ඉහළ යාම සහ මිල යාන්ත‍්‍රණයක් නොමැති වීම ආදිය ක්ෂේත‍්‍රයට විශාල අභියෝගයක් වී ඇත. ඉන්ධන වැනි ආනයන මත යැපෙන අත්‍යාවශ්‍යය සේවා මෙන් නොව, ඖෂධ නිෂ්පාදන මිල යාන්ත‍්‍රණයකට යටත් නැහැ. ’’ යනුවෙන්ද ඇය මෙහිදී පවසා ඇත.

පසුගිය මාස කිහිපය තුළ මුහුණ දුන් විවිධ අභියෝගයන් හමුවේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් ලෙස, සියලූම කාර්ය මණ්ඩල, සැපයුම් ජාල කොටස්කරුවන් සහ කර්මාන්තයේ සියලූම නියෝජිතයින්ගේ අද්විතීය කාර්යභාරය සහ ඒ සඳහා ඔවුන් සූදානම් වීමට දෑරූ උත්සාහය චෙල්ලරාජා මහත්මිය පැසසුමට ලක් කළාය.

‘‘කොවිඞ්-19 වසංගතය අපගේ ක්ෂේත‍්‍රයට පෙර නොවූ විරූ අභියෝග රැගෙන ආවා. අපගේ ව්‍යාපාර බොහොමයක් තවමත් අරගලයක යෙදී සිටින නමුත් රෝගීන් සහ රට අපගේ ප‍්‍රමුඛතාවය ලෙස සැලකීමට ක්ෂේත‍්‍රය වගබලා ගත්තා. ඖෂධ හිඟයක් ඇති නොවන බවත්, එසේ නොවූ බවත් රටට හා සෞඛ්‍ය ඇමතිනියට සහතික වීමට අපට හැකි වුනා’’ යනුවෙන්ද ඇය සඳහන් කර තිබේ.

SLCPI හි 2020/21 වර්ෂය සඳහා නිළධාරී මඩුල්ල වන්නේ, ජ්‍යෙෂ්ඨ උප සභාපති – සංජීව විජේසේකර මහතා, විධායක අධ්‍යක්ෂක, ජෝර්ඡ් ස්ටුවර්ට් හේල්ත් (පුද්) සමාගම, උප සභාපති – අසාම් ජාවඩ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂක, සිප්ලා ෆාර්මා ලංකා සමාගම, ගරු. ලේකම් – රොල්ෆ් බ්ලේසර් මහතා, ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂක,  ඒ. බවර් සහ සමාගම, භාණ්ඩාගාරික – සිරිමල් ප‍්‍රනාන්දු මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක, ඇස්ට‍්‍රන් ලිමිටඞ්.

ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) වර්තමානයේදී පුද්ගලික ඖෂධ ක්ෂේත‍්‍රයෙන්, නිෂ්පාදකයින්, ආනයනකරුවන් බෙදාහරින්නන්, සහ වෙළෙඳුන්ගෙන් 80%කට වඩා දායකත්වය දක්වන සාමාජිකයින් 60 කට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවකගේ නියෝජිත ලෙස සේවය කරන බවත් පවසයි.

Visits: 164