මාර්තුවේ අපනයන ආදායම 42.3% කින් පහළට

මාර්තුවේ අපනයන ආදායම 42.3% කින් පහළට

මේ වසරේ මාර්තු මාසය තුළ මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 656ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය පසුගිය 2019 වසරේ මාර්තු මාසයේදී වාර්තා කළ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,137 හා සාපේක්ෂව 42.3%ක අඩු වීමක් බව මහ බැංකුව පවසයි.

රට තුළ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට සහ අපනයන ආශ්‍රිත සේවාවන්ට බාධා පැමිණීම මෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරීම හේතුවෙන් දේශීය හා ගෝලීය යන දෙඅංශයේම සැපයුම් හා ඉල්ලුම් දාම වෙත බාධා පැමිණීම, අපනයන ආදායමේ මෙම කැපී පෙනෙන අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

“2020 වසරේ මාර්තු මාසයේදී කෘෂිකාර්මික, කාර්මික සහ ඛනිජ යන ප්‍රධාන අපනයන කාණ්ඩ සියල්ලෙහිම අඩුවීම් වාර්තා විය. රෙදිපිළි හා ඇඟලුම්, තේ, රබර් නිෂ්පාදන, මැණික් දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මුහුදු ආහාර සහ පොල් වැනි ප්‍රධාන අපනයන නිෂ්පාදන අඩුවීම අපනයන ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් දායක විය.” මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් මෙම මාසයේදී සුළු කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායමෙහි වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහි වර්ධනය 10.5% කි. මේ වසරේදී එම ආදායම ඩොලර් මිලියන 10.5ක් ලෙස සටහන්ව ඇති අතර 2019 දී එය ඩොලර් මිලියන 9.5කි.

මේ අතර 2020 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා මෙරටට හිසු වූ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 2,650 කි. එය 2019 වසරේදී ලැබුණු ඩොලර් මිලියන 3,156 හා සාපේක්ෂව එය 16%ක අඩුවීමකි.

මෙහිදී මුල් මාස තුන තුළ සිදුවුණු අපනයන පහත වැටීම සඳහා මූලිකවම රෙදිපිලි හා ඇගලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම් අඩුවීම බලපා ඇත. එය එක්සත් ජනපද ඩොලර් මිලියන 219.4 ක අඩුවීමකි. එසේම තේ හරහා ඩොලර් මිලියන 77.2ක අඩුවීමක් සහ රබර් නිෂ්පාදන තුළ බිලියන 36.8 ක අඩුවීමක්ද සිදුව තිබේ.

කුළු බඩු හරහා සිදුව ඇති අපනයනය ආදායම් අඩුවීම ඩොලර් මිලියන 29.6 කි. මීට අමතරව මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ හරහා සිදුව ඇති අපනයන ආදායම් අඩුවීම ඩොලර් මිලියන 28.7ක් ලෙසත්, ආහාර, පාන වර්ග හා දුම්කොළ හරහා සිදුව ඇති අපනයන ආදායම් අඩුවීම ඩොලර් මිලියන 25.6ක් ලෙසත් සටහන්ව තිබේ.

Views: 31