ලංකා මිල්ක් ෆුඩ්ස් 2020 අවසන් කාර්තුවේ පිරිවැටුම රු.මි. 631කින් ඉහළටලු

ලංකා මිල්ක් ෆුඩ්ස් 2020 අවසන් කාර්තුවේ පිරිවැටුම රු.මි. 631කින් ඉහළටලු

ලක්ස්ප්‍රේ, අඹේවෙල සහ ඩේලි යන කිරි ආශ්‍රිත නිෂ්පාදන සන්නාම සහ මයිජූසි හා බ්ලූ යන පාන වර්ග සන්නාම අයත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමූහය, පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020 වසරේ සිව්වැනි කාර්තුව තුළදී රුපියල් මිලියන 1,706 ක පිරිවැටුමක් ළගා කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව මෙය 2019 වසරේ සිව්වැනි කාර්තුවේදී සමාගම ලැබූ පිරිවැටුමට සාපේක්ෂව රුපියල් මිලියන 631.74ක වර්ධනයක් බවත් සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම සඳහන් කරමින් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කළ ලිපියක මේ කරුණු සඳහන්ව තිබේ. ඒ අනුව ලංකා මිල්ක් ෆුඩ්ස් (සී.ඩබ්ලිව්.ඊ) පීඑල්සී සහ එහි පරිපාලිත සමාගම් ඇතුළත් ලංකා මිල්ක් ෆුඩ්ස් ගෘප් හි මූල්‍ය තත්ත්වය එය බව සමාගම සඳහන් කරයි.

“පසුගිය මාස කිහිපයේදී සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වූ බාධාවලින් පසුව, ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සහ එහි පරිපාලිත සමාගම් ඉදිරියේදී එළැඹෙන අවස්ථාවන් තුළින් උපරිම ප්‍රයෝජනය ගැනීමට සූදානමින් සිටිනවා. එතැනදී වසරේ ඉදිරි කාලයේදී අපගේ අලෙවිය තවදුරටත් වර්ධනය කරගනිමින් අහිමි වූ කාලයේදී සිදුවූ හානි පියවා ගැනීමට කටයුතු කරනවා.” සමාගම සඳහන් කරයි.

එසේම සිය සැපයුම් දාමය මෙන්ම බෙදාහැරීම් ජාලයද වඩාත් ශක්තිමත් කරන අතරතුරම, හැකි උපරිම ආකාරයට පිරිවැය අඩු කරගැනීම සඳහා කටයුතු යොදන බවත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී පවසා සිටියි.

ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී වෙත අයත් ලක්ස්ප්‍රේ සන්නාමය යටතේ පිටි කළ කිරි නිෂ්පාදනත්, අඹේවෙල සන්නාමය යටතේ කිරි, එළු කිරි, චීස්, යෝගට් සහ යෝගට් පාන යන නිෂ්පාදනත්, ඩේලි සන්නාමය යටතේ ඩේලි ඇක්ටිව් සහ ඩේලි ෆ්ලේවර්ඩ් මිල්ක් යන නිෂ්පාදනත් නිපදවෙයි. ඊට අමතරව මයිජූසි සහ බ්ලූ යන පාන වර්ගත් එම සමාගම යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරේ.

“මේ කොවිඩ්-19 වසංගතය අපත් සමගින් තවත් යම් කාලයකට පවතීවි. එහෙත් ලංකා මිල්ක් ෆුඩ්ස් අප මේ සුළි කුණාටුව පෙරට වඩා දැඩිව ආවත් ඊට මුහුණ දිය හැකි ස්ථාවරයක සිටිනවා. අපගේ ගොවිපොළවලින් සිදු කරන කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති නව ව්‍යාපෘති හරහා මෙරටට ආනයනය කෙරෙන කිරි පිටි ප්‍රමාණය අඩු කිරීමට හැකි වේවි. එහිදී මේ කිරි පිටි වෙනුවට වඩාත් නැවුම් සහ වඩාත් හොඳ කිරි රටට සැපයීමට අපට හැකියාව ලැබේවි.”

ඒ අනුව මේ කටයුතු හරහා වටිනා විදේශ විනිමය ආරක්ෂා කරගැනිමට හැකි වෙනු ඇති බවත්, රටෙහි ජනතාව කිරෙන් ස්වයංපෝෂිත කළ හැකි බවත් ඒ සියල්ල සමගින් සිය කොටස් හිමිකරුවන්ට හොඳ ප්‍රතිලාභ ලබා දිය හැකි බවත් සමාගම සඳහන් කර සිටියි.

මෙරට සුප්‍රක්‍රට ව්‍යාපරික හැරී ජයවර්ධන මහතා සභාපතිධුරය දරන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම 2019 වසරේදී ලැබූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,386 කි. එහිදී ලක්ස්ප්‍රේ සන්නාමය හිමි ලංකා ඩේරීස් (පෞද්) සමාගමේ පිරිවැටුම බිලියන 2.2ක් වූ අතර, අඹේවෙල සන්නාම හිමි අඹේවෙල ප්‍රඩක්ට්ස් (පෞද්) සමාගම බිලියන 1.4 ක පිරිවැටුමක් ලබා තිබේ.

Visits: 75