කොවිඩ්-19 නිසා ITN, SLBC ආදායම් පහළ ගිහින්ලු

කොවිඩ්-19 නිසා ITN, SLBC ආදායම් පහළ ගිහින්ලු

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම නිසා ස්වාධීන රූපවාහිනි ආයතනයේ (ITN) සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) ආදායම විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි එම ආයතන දෙකම මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන් යටතට ගැනෙන එම ආයතන දෙකෙහි වැටුප් ගෙවීම්, විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් පියවීම සඳහා රුපියල් කෝටි 45ක මුදලක් ලබා දෙන්නැයි ඔවුන් මහා භාණ්ඩාගාරයෙන් මෙහිදී ඉල්ලීම් සිදු කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තාවක් ගෙන එමින් පවසා සිටියි.

ඒ අනුව ස්වාධීන රූපවාහිනි ආයතනයේ වියදම් සඳහා රුපියල් කෝටි 18 ක මුදලක් ඉල්ලා ඇත. එම මුදලින් එම ආයතනයේ මාස තුනක සේවක වැටුප් ගෙවීමටත්, විදුලි බිල්පත් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් පියවීම පවතින බව ආයතන මහාභාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබේ.

එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වියදම් සඳහා රුපියල් කෝටි 27ක මුදලක්ද මෙලෙස ඉල්ලා ඇත. එම මුදලින් මැයි සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 6ක සේවක වැටුප් හා විදුලි බිල්පත් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් පියවීම පවතින බව සංස්ථාව මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබේ.

මේ වසරේදී 41 වැනි වසර සපුරන ස්වාධීන රූපවාහිනි ආයතනය යටතේ ක්‍රියාත්මක ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සතුව ඇත්තේ රූපවාහිනි නාලිකා දෙකක් සහ ගුවන් විදුලි නාලිකා දෙකක් පමණකි. එහෙත් මෙම නාලිකා සියල්ලගේම පමණට වඩා සිටින සේවකයන් සංඛ්‍යාව එහි වියදම් ඉහළ දැමීමට හේතුවක් වී තිබෙන බව කලක පටන්ම කතාබහට ලක්ව තිබුණි.

එසේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ගුවන් විදුලි නාලිකා 7ක් ක්‍රියාත්මක වෙයි. එහෙත් එම නාලිකා පවතින තරගකාරී තත්ත්වයට අනුව සිය සේවා පවත්වාගෙන නොයෑම මෙන්ම පමණට වඩා වැඩි සේවකයන් සංඛ්‍යාව ආදායමට වඩා වියදම් වැඩිවීමට මූලික හේතුවී තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීම සඳහා වන කොටස් කිහිපයක් වෙන් කර ඇති අතර, ඒ මත ක්ලික් කිරීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි බව පැවසුවත් ඊට අදාළ වෙබ් පිටුව පවතින්නේ අක්‍රිය තත්ත්වයෙනි.

Visits: 10