GSM අවහිර කළ නීතිවිරෝධී රැහැන් රහිත දුරකතන 800ක් ප්‍රතිචක්‍රීයකරණයට

GSM අවහිර කළ නීතිවිරෝධී රැහැන් රහිත දුරකතන 800ක් ප්‍රතිචක්‍රීයකරණයට

මෙරට තුළ භාවිතයට ගෙන තිබූ නීතිවිරෝධී රැහැන් රහිත දුරකතන 800ක් අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම පවසයි. අත්අඩංගුවට ගැණුනු එම දුරකතන කිහිපයක් ප්‍රදර්ශනය කරමින් පැවැති හමුවකදී එම කොමිෂමේ නිලධාරීන් මේ කරුණු අනාවරණය කර තිබේ.

DECT 6.0 ලෙස හැඳින්වෙන මෙම රැහැන් රහිත දුරකතන මගින් දැනට මෙරට තුළ භාවිත ජංගම දුරකතන සංඥාවලට බාධා ඇති කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බව එම කොමිෂම සඳහන් කර සිටියි. 

රැහැන් රහිත දුරකතන මාදිලි වන මේවා මෙගාහර්ට්ස් සංඛ්‍යාව 1800 සහ 1930 (ගිගාහර්ට්ස් 1.88 සහ 1.93 අතර) සංඛ්‍යාත පරාසයක ක්‍රියාකිරීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව දුරකතන  අද වනවිට මෙරට තුළ මෙම දුරකතන භාවිතය තහනම් කෙරී ඇත. 

රේගුව මඟහැර විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් විසින් මෙම දුරකතන රැගෙන එන බවට කරුණු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් මෙම නීතිවිරෝධී දුරකතන ප්‍රතිචක්‍රීයකරණය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඊ-අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයට භාරදීම සිදුව තිබේ.

දැනටමත් මෙම DECT 6.0 රැහැන් රහිත දුරකතන මෙරටට ආනයනය කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම සහ භාවිතය නවත්වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම මගින් ජනතාවගෙන් ඉල්ලීම් සිදු කර තිබේ. 

මෙම හමුවේදී අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ සංඛ්‍යාත කළමනාකරණ සහ විශේෂ ව්‍යාපෘති අංශයේ නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ ජී.ඒ.එස්. ගුණානන්ද මහතා, “දැනට  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රැහැන් රහිත දුරකතන සඳහා භාවිතයට ගත හැකි සංඛ්‍යාත පරාස නිකුත් කර තිබෙනවා. අපි නියම කර තිබෙන තරංග පරාසවලට පරිබාහිරව වෙනත් රටවලින් තමයි මේ දුරකතන ගෙන එන්නේ.” ඒ මහතා පවසයි.

ඒ අනුව මෙවැනි දුරකතන අත්අඩංගුවට ගැනීම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසා සිටියේය. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ ක්‍රියාත්මක මෙම දුරකතන හේතුවෙන් GSM ජංගම දුරකතන ජාල අවහිර වන බවට පැමිණිලි රැසක්ම ලැබී ඇතැයි ඔහු පවසයි.

“යමෙකු මෙවැනි දුරකතනයක් මෙරටට ගෙනැල්ලා භාවිතා කරන ස්ථානය සොයා ගන්න විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හැකියාව තිබෙනවා. අපි එම ස්ථානය සොයාගෙන ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා එම දුරකතනය අපිට භාර දෙන්න කියලා. එහිදී අපි නියම කර තිබෙන තරංගවල ක්‍රියාත්මක කරන රැහැන් රහිත දුරකතනයක් ඒ වෙනුවට හුවමාරු කරනවා. 

මෙහිදී අත්අඩංගුවට ගත් දුරකතන 800 ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සඳහා එම කොමිෂමේ ඊ-අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ශ්‍රියානි මාවනැල්ල මහත්මිය වෙත භාරදීම සිදුව තිබේ.

මේ අතර, පසුගිය 2018 වසරේදී අත්අඩංගුවට ගත් මෙවැනි DECT 6.0 රැහැන් රහිත දුරකතන 500 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කළ බවත් හෙතෙම නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ ජී.ඒ.එස්. ගුණානන්ද මහතා සඳහන් කළේය. 

ඒ අනුව මෙරට තුළ භාවිත කළ හැකි නියමිත සංඛ්‍යාත පරාසයක් සහිත රැහැන් රහිත දුරකතන පිළිබඳව දැනුවත්වී ඒවා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Views: 66