Amazon හි ටයිල් විකුණන ආසියාවේ එකම සමාගම බවට ලංකාටයිල්ස් පත්වෙයි

Amazon හි ටයිල් විකුණන ආසියාවේ එකම සමාගම බවට ලංකාටයිල්ස් පත්වෙයි

මෙරට මුල් පෙළේ ටයිල් නිෂ්පාදන සමාගමක් වන “ලංකා ටයිල්ස්” සමාගම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ ලොව සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Amazon සමගින් එකතු වී සිය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පියවර තැබූ බව පවසයි. 

ඒ අනුව, Amazon වෙබ් අඩවිය තුළ ටයිල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරන ආසියාවේ එකම සමාගම බවට ශ්‍රී ලංකාවේ ලංකාටයිල්ස් පත්ව ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. එසේම ජාත්‍යන්තර මට්ටමින් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන එකම ටයිල් සමාගම බවටත් ලංකා ටයිල්ස් පත්වන බව ඔවුන් පවසා සිටියි.

මෙම පිවිසීමෙන් අනතුරුව Amazon වෙබ් අඩවිය හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයන් වෙත සිය නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාවක් ලැබෙන බව ලංකාටයිල්ස් සමාගමේ අදහස වී තිබේ. කෙසේ වෙතත් එක්සත් ජනපදයට පමණක් සීමා නොවී ඉදිරියේදී අනෙකුත් අන්තර්ජාල වෙළෙඳ පොළ සමගින් සම්බන්ධවීමටද අදහස් කරගෙන සිටින බව සමාගම සඳහන් කරයි.

මෙලෙස Amazon වැනි ලොව ප්‍රමුඛ පෙළේ ඉ-වාණිජ වෙබ් අඩවියක් සමගින් සම්බන්ධවී පාරිභෝගිකයන්ට වඩාත් ආරක්ෂිත, සුරක්ෂිත නිෂ්පාදනයක් නිසි වේලාවට ලබාදීමට කටයුතු යොදන බවත් මෙම නිවේදනයේ ඇතුළත්ව තිබේ.

1977 වසරේදී ආරම්භ කෙරුණු ලංකාටයිලිස් ආයතනය අද වනවිට Lanka Walltiles PLC ලෙස කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් බවටද පත්ව තිබේ. මෙරට අංක එකේ ව්‍යපාරිකයෙකු වන ධම්මික පෙරේරා සතු සමාගම් ගොන්නට මෙම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී අයත් වෙයි.

ලංකා වෝල්ටයිල් පීඑල්සී සමාගම සිය නවතම හඳුන්වාදීම ලෙස CLOMA නමින් අලුත්ම මාදිලියේ නානකාමර ටයිල් කට්ටල පෙලක් හඳුන්වාදීමටද පසුගියදා පියවර ගත්තේය. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ලංකා වෝල්ටයිල්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා, සිය තරගකරුවන් හා සැසඳීමේදී මෙම නවතම හඳුන්වාදීම මෙරට ටයිල් වෙළෙඳ පොළ සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි පවසා සිටියි.

Visits: 103