ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2020 සිව්වන කාර්තුවේ මෙහෙයුම් ලාභය 27% කින් ඉහළට

  • සමූහයේ බදු පසු ලාභයේ 25% ක වසරින් වසර වර්ධනයක්
  • දැවැන්ත බ්‍රෝඩ්බෑන්ඩ් (Broadband) ආදායම හේතුවෙන් සමූහයේ ආදායමේ 6% ක වසරින් වසර වර්ධනයක්
  • 2020 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 14.5 ක්
  • 2020 මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා රජයට ගෙවූ සෘජු සහ වක්‍රාකාර බදු රු. බිලියන 17.1 ක්

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමූහය, බදු පසු ලාභයේ 25% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් අත්කර ගනිමින් 2020 මුල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කිරීමට සමත්ව සිටින බව පවසයි.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද රු. බිලියන 7.9 ක් වන එම වර්ධනය ළඟාකර ගැනීමට හැකි වීම කැපී පෙනේ.

ගතවූ මුල්‍ය වර්ෂය තුළ සමූහයේ ආදායම රු. බිලියන 91.1 ක් දක්වා වර්ධනය වූ අතර එය 6% ක වසරින් වසර වර්ධනයකි. ෆයිබර් සබඳතා ජාලය පුළුල් කිරීම සඳහා දියත් කරනලද කඩිනම් වැඩපිළිවෙල සහ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අංශයේ ඇති වූ වර්ධනය හේතුවෙන් ඉහළ නැංවුණු බ්‍රෝඩ්බෑන්ඩ් ආදායමේ වර්ධනය සමූහයේ සමස්ත ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. PEO TV සහ ධාරක සේවා (Carrier Services) ආදායම ද ගතවූ මුල්‍ය වර්ෂය තුළ වර්ධනය විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ පොළී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක‍්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) ද 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 34.7 ක, එනම් 16% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය වසරේ 35% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය ද මේ වසරේදී 38% ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහය විසින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක පිරිවැය කළමනාකරණ ක්‍රමවේද එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන ලදි.

2020 සිව්වන කාර්තුව තුළ සමූහය රු. බිලියන 24.0 ක ආදායමක්, එනම් 4% ක කාර්තුවෙන් කාර්තුව වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ අතර එය 2020 මුල්‍ය වර්ෂයේ කාර්තුවක් තුළ අත්කර ගත් ඉහල ම ආදායම ද වෙයි. කාර්තුව තුළ මෙහෙයුම් ලාභය පසුගිය වසරේ එම කාර්තුව සමග සැසඳීමේදී 27% කින් වර්ධනය වූ අතර එම අගය රු. බිලියන 1.9 ක් ලෙස සටහන් විය.

එය 2020 තුන්වන කාර්තුව සමග සැසඳීමේදී 33% ක අඩු වීමකි. කාර්තුව තුළ බදු පසු ලාභය රු. බිලියන 1.1 ක් ලෙස වාර්තා වූ අතර එය 48% ක කාර්තුවෙන් කාර්තුව අඩු වීමකි. ඉහල මෙහෙයුම් පිරිවැය සහ විදේශ විනිමය තුළ සිදු වූ විචලනවල අහිතකර බලපෑම එම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජංගම සබඳතා අංශයවන මොබිටෙල් සමාගම ද 2020 වසර පුරා පැවති දැවැන්ත අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ වුව ද සිය ආදායම වර්ධනය කර ගැනීමට සමත් විය. මොබිටෙල් සමාගම 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 4.9 ක බදු පසු ලාභයක් අත්කර ගත් අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි. එම අගය මොබිටෙල් සමාගම මෙතෙක් අත්කරගෙන ඇති ඉහල ම බදු පසු ලාභය වීම ද විශේෂත්වයකි.

ආදායම් වර්ධනයට සමගාමීව මෙහෙයුම් වියදම් අවම කර ගැනීමට ද සමත්වීම හේතුවෙන් එම සමාගමට ශක්තිමත් ලාභදායී වර්ධනයක් අත්කර ගැනීමට හැකි විය. 2020 මුල්‍ය වර්ෂය සඳහා මොබිටෙල් සමාගමේ ආදායම රු. බිලියන 43.2 ක් ලෙස සටහන් වූ අතර එය 2019 මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 8% ක වර්ධනයකි.

ආදායම් වර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මත සියලු ප්‍රධාන ලාභදායී දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට මොබිටෙල් සමාගමට හැකි වී ඇත. එම සමාගම රු. බිලියන 3.1 ක EBITDA වර්ධනයක් හිමිකර ගැනීමට ද සමත් වී ඇති අතර එය 23% ක වසරින් වසර වර්ධනයකි. පොළී ගෙවුම්, බදු ගෙවුම්, ආදියට පෙර ලාභය (EBIT) ද 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 2.6 ක් කින් ඉහළ ගිය අතර එය 2019 මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 50% ක වර්ධනයකි.

2020 මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ශ්‍රී ලංකා රජයට ගෙවන ලද සමස්ත සෘජු සහ වක්‍ර බදු අගය රු. බිලියන 17.1 කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා “COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අනපේක්ෂිත අභියෝග මධ්‍යයේ වුව ද සමස්ත රටටත්, ප්‍රජාවටත් අත්‍යවශ්‍ය විදුලි සංදේශන සේවා පිරිනැමීම තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය අත්කර ගත් සාර්ථකත්වයත් නොසැලී ඉදිරියට ගමන් කිරීමේ හැකියාවත් 2020 මුල්‍ය ප්‍රතිඵල මගින් යළිත් වරක් තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය ද අප හට ලබා දුන් ශක්තිමත් සහයෝගය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කරන අතරම, විවිධ වැඩසටහන් හරහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ජාතික ඩිජිටල්කරන වැඩපිළිවෙල සමග අප සමීපව කටයුතු කරනවා. 2021 වසරේදී අපගේ සේවා ප්‍රමිතිය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් ශක්තිමත් ක්‍රමෝපායක් දියත් කිරීමටත් අප අපේක්ෂා කරනවා,” යනුවෙන් සඳහන් කර සිටියි.

Visits: 222