රේගුව ඇල්ලූ රු.මි. 133.6 ක නීතිවිරෝධී දුම්වැටි විනාශයට CTC ය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද නීති විරෝධී දුම්වැටි තොගයක් විනාශ කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම (සිලෝන් ටොබැකෝ කම්පැනි) වෙත පසුගියදා ලබාදුන් බව රේගුව පවසයි. මෙම නීතිවිරෝධී දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 133.6 කි.

2019 වසරේ අගභාගයේදී මෙරටට පැමිණි කන්ටේනර් තුළ බහාලූ නීතිවිරෝධී සිගරට් තොගයක් මෙලෙස විනාශ කිරීම සඳහා භාර දී ඇත. ඒ අනුව කොටහේනේ පිහිටි ලංකා දුම්වැටි දමාගමේ ප්‍රධාන කාර්යාලයේ ඇති සිගරට් විනාශ කිරීමේ යන්ත්‍රය මගින් එම විනාශ කිරීම සිදු කර තිබේ. මෙම අවස්ථාව සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් සහ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නෙඩාල් සලෙම් ඇතුළු එහි ප්‍රධානීන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත.

මෙලෙස නීතිවිරෝධී දුම්වැටි රට තුළට පැමිණීම හරහා රජයට අයවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදලක් අහිමි වන බවත් පැවසෙයි. ඒ අනුව එම තත්ත්වය වැළැක්වීම සඳහා මෙලෙස වැටලීම් සිදු කරමින් නීති විරෝධී දුම්වැටි අත්අඩංගුවට ගන්නා බවත්, ඒවා විනාශ කිරීම හරහා රජය මෙවැනි නීතිවිරෝධී දුම්වැටි වෙත රටට ඇතුළුවීමට අවස්ථාව නොදෙන බවත් රේගු බලධාරීන් සඳහන් කරයි.

මාධ්‍ය වාර්තා පවසන ආකාරයට අත්අඩංගුවට ගැනුණු මෙම කන්ටේනර් බහාලුම් යුරෝපා රටක සිට ඩුබායි හරහා මෙරටට පැමිණ තිබේ. මේ තුළ විදේශ සන්නාමවලට අයත් සිගරට් 2,353,780ක් තිබී ඇතැයි රේගු බලධාරී සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලංකා දුම්සකොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නඩෙල් සලෙම් මහතා, මෙලෙස විශාල වශයෙන් නීති විරෝධී සිගරට් තොග රට තුළට පැමිණීම  හරහා මෙම ජාවාරම්කරුවන් රජයට ගෙවිය යුතු දැවැන්ත බදු ප්‍රමාණයක් නොගෙවා මඟහැර ඇතැයි සඳහන් කරයි.

ලංකා දුම්කොළ සමාගම පසුගිය 2019 වසරේදී පමණක් රජයට රුපියල් බිලියන 120ක් පමණ වන බදු මුදලක් ගෙවා ඇතැයිද, පසුගිය වසරේදී පමණක් මෙවැනි නීතිවිරෝධී දුම්වැටි නිසා රජයට රුපියල් බිලියන 21ක මුදලක් සිය සමාගමට පාඩු වී ඇතැයිද ප්‍රධාන විධායක නිලධාරියා පවසා සිටියි.

ඡායාරූප – ඩේලිමිරර් පුවත්පත

Visits: 241