සෙලාන් බැංකුවෙන් රු.බිලියන 1.6ක් වටිනා කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙලාන් බැංකුව මගින් සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

මෙහිදී දැනට සෑම ඡන්ද හිමි (SEYB.N0000)  කොටස් 14.33ක හිමිකාරීත්වයක් වෙනුවෙන් අලුතින් එක් ඡන්ද හිමි කොටසක් හිමිවන ලෙස මෙම කොටස් ලාභාංශ ලබාදීම සැලසුම වී තිබේ.

එසේම දැනට නිකුත් කර ඇති සෑම නිෂ්ඡන්ද (SEYB.X0000) කොටස් 10.73ක් සඳහාද අලුතින් නිෂ්ඡන්ද එක් කොටසක් මෙලෙස ලාභාංශ ලෙස ලබා දෙන බව සෙලාන් බැංකුව පවසයි.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව සෙලානි බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම යටතේ අලුතින් ඡන්ද හිමි කොටස් 18,437,267ක් ලබාදීම සැලසුම වී ඇත. එසේම නිෂ්ඡන්ද කොටස් 25,148,123ක් ලබා දීමට නියමිතව තිබේ.

මෙහිදී ලාභාංශ ලෙස ගෙවන ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 43.00ක් ලෙස මිල කෙරී ඇති අතර, නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 32.20ක් ලෙස මිල කෙරී තිබේ.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම සඳහා නිකුත් කරන සමස්ත කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1.6ක් (1,602,572,049.00ක්) ලෙස සටහන්ව ඇත.

සෙලාන් බැංකුව සඳහන් කරන ආකාරයට අද වන විට බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 18.3ක් (18,323,881,381.01ක්) බව පැවසෙයි.

මේ කොටස් ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇති බවත් බැංකුව පවසයි.

Visits: 245