මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාත එලෙසින්මයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කළ බව පවසයි. ඊයේ (24දා) පැවැත්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 5.00ක සහ සියයට 6.00ක මට්ටමේම පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම රට තුළ පවතින සාර්ව ආර්ථික තත්ත්වය සහ දේශීයව සහ ගෝලීයව ඉදිරි පෙරමුණුවලසිදුවනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන සංවර්ධන අපේක්ෂා මෙලෙස මුදල් මණ්ඩලය එම තීරණයට ගැනීමට හේතු ව වූ බවද මහ බැංකුව පවසයි.

මේ අතර අද වනවිට රට තුළ පවතින උද්ධමනයේ ඉහළ යාම මූලිකවම සැපයුම්හි පවතින අඩපණවීම් සහ ගෝලීයව පාරිභෝගික මිල ගණන්හි සිදුව ඇති ඉහළ යාම් හේතුවෙන් සිදුව පවතින්නක් බවටද මුදල් මණ්ඩලය විසින් හඳුනාගත් බව මෙහිදී සඳහන් කෙරී ඇත.  

එහිදී මුදල් මණ්ඩලය මැදිකාලයක් සඳහා උද්ධමනය ඉලක්කගත මට්ටමේම පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම්ද සමගින් දායකත්වය ලබා දෙන බවත්, ඒ අතරතුරදීම ඉදිරි කාලයේදී රටෙහි ආර්ථිකයට එහි හැකියාවන් වෙත ළගාවීමට සහාය දක්වන බවත් පවසයි.

මෙම තීරණය පිළිබඳ දැනුම් දෙන මහ බැංකුවෙහි 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය අද (නොවැම්බර් 25දා) පෙරවරු 11.00ට මහ බැංකුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

Visits: 233