Telegram ඇප් වැඩසටහනේ ඩවුන්ලෝඩ් කිරීම් බිලියනයක් ඉක්මවයි

ලොව ජනප්‍රිය ක්ෂණික පණිවුඩ හුවමාරු ඇප් වැඩසටහනක් වන Telegram හි භාගත කිරීම් සංඛ්‍යාව පසුගියදා බිලියනය ඉක්මවූ බව ජංගම දුරකතන තාක්ෂණය පිළිබඳ ආයතනයක් වන Sensor Tower පවසයි. ඒ අනුව මේ දක්වා ලොව පුරා ඩවුන්ලෝඩ් බිලියනයක් සිදු කළ ඇප් වැඩසටහන් ගොන්නට එක් වූ අලුත්ම සාමාජිකයා බවටද Telegram පත්ව තිබේ.

එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර ප්‍රධාන මූලස්ථානය කරගත් මෙම ඇප් වැඩසටහන 2013 වසරේදී ආරම්භවූවකි. රුසියානු ජාතික සහෝදරයන් දෙදෙනකු වන නිකොලායි සහ පාවෙල් ඩුරොව් එහි නිර්මාතෘවරුන් වෙයි. එක්සත් ජනපදයේ ලියාපදිංචි Telegram FZ LLC, Telegram Messenger Inc. සමාගම් යටතේ Telegram ක්‍රියාත්මක වෙයි.. අද වනවිට ඇන්ඩ්‍රොයිඩ්, iOS, iPadOS, macOS, Linux, macOS යන මෙහෙයුම් පද්ධති සඳහා භාෂා 19කින් මෙම ඇප් වැඩසටහන ලොව පුරා ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. 

ඒ අනුව අද වනවිට Telegram ඇප් වැඩසටහන සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ඉන්දියාව තුළයි. ඉන් අනතුරුව රුසියාව සහ ඉන්දුනීසියාව තුළ Telegram ඇප් වැඩසටහනේ වැඩිම ඩවුන්ලොඩ් සංඛ්‍යාවක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම මෙම වසරේදී ලොව පුරා ජනතාව අතර Telegram ඇප් වැඩසටහන ඉන්ස්ටෝල් කරගැනීම් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ පළමු අර්ධයේදී එහි ඉන්ස්ටෝල් කරගැනිම් මිලියන 214.7ක් වාර්තා වී ඇති අතර, එය 2020 වසරේ පළමු කාර්තුවේදී සිදුවුණු ඉන්ස්ටෝල් කරගැනීම් මිලියන 133ට සාපේක්ෂව 61%ක වර්ධනයක් බවද Sensor Tower ආයතනය පවසයි.

කෙසේ වෙතත් මෙම ඉන්ස්ටෝල් කරගැනිම් සංඛ්‍යාව කිසි විටෙකත් එම ඇප් වැඩසටහනේ සක්‍රීය පරිශීලක පදනම පිළිබිඹු නොකරන බවත් විදෙස් මාධ්‍ය පවසයි. මේ වසර ආරම්භයේදී පමණ ලොව පුරා මාසිකව Telegram ඇප් වැඩසටහන තුළ සක්‍රීයව සිටින පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 500ක් ලෙස සටහන්ව ඇත.

විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී ලොව බොහෝ දෙනෙකු අතර ක්ෂණික පණිවුඩ ඇප් වැඩසටහනක් ලෙස Telegram ඇප් වැඩසටහන ජනප්‍රියවීමට මූලිකවම හේතුව වූයේ අද වනවිට ලොව අංක එකේ ක්ෂණික ඇප් වැඩසටහන වන Whatsapp මගින් එහි පරිශීලකයන්ගේ පෞදගලික තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දක්වන දුර්වලතාවයයි.

අදවනවිට දැවැන්ත පරිශීලකපදනමක් Whatsapp වෙත ඇතත්, එම පිරිසගේ පෞද්ගලික දත්ත ඇතුළු තොරතුරු අනාරක්ෂිත මට්ටමක පවතී. ඒ අනුව මේ වනවිට ලොව පුරා බිලියනයක ඩවුල්ලෝඩ් ප්‍රමාණයක් සිදු කරගෙන ඇති පස්වැනි ඇප් වැඩසටහන බවටත් Telegram පත්ව තිබේ. මේ දක්වා Whatsapp, Messenger, Facebook, Instagram, Snapchat, Spotify සහ Netflix යන ඇප් වැඩසටහන් එම කඩඉම පසු කර තිබේ.

Visits: 98