ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමු වීම නිසා දර්ශක අගයන් කඩා වැටේ

අද (අගෝස්තු 04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ගැනුම්බරතාවකින් තොරව ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. රට තුළ වර්ධනය වන කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා නව ප්‍රභේදය පිළිබඳ අවදානම ඊට හේතුවී තිබේ. එහිදී විශාල සමාගම් තුළ කොටස්මිලදී ගෙන තිබූ ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමු වීම හේතුවෙන් දර්ශක අගයන් පහත වැටීමක් සිදුව ඇත. කෙසේ වෙතත් දිනය නිමාවේදී පිරිවැටුම තවදුරටත් ඉහළ මට්ටමක පැවතුණු බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,197.87ත් ඒකක 8,273.78ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,210.31ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 03) දිනයට සාපේක්ෂව ඒකක 12.24ක් එනම් -0.15%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව තුළ සිදු වුණු කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 3.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 68ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 103ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+5.96), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (+3.78), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.24), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+2.49), සම්පත් බැංකුව SAMP (+1.29), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-8.58), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-7.94), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.49), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-2.16), ඩයලොග් ආසිආටා DIAL (-1.85යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,109.97ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 03දා) ට සාපේක්ෂව ඒකක 1.18 ක එනම් -0.04%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.68ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 03දා) වාර්තා කළ රුපියල් බිලියන 6.65ට සාපේක්ෂව 14.5% ක පහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.63ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 23.89%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 77.89ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 344.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 266.67කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.62ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 19.03 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 267.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,497ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ප්‍රවාහන සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,437 ක සහ රුපියල් මිලියන 999ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 395