“ලංකා තේ : කර්මාන්ත රන් ප්‍රමිතියක්” – ආර්ට් ප්ලස් සඟරාව එක්ව ප්‍රවර්ධනයක්

පිලිපීනයේ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ආර්ට් ප්ලස් සඟරාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව පසුගිය මැයි 21 දිනය යෙදුනු ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා ලංකා තේ පිළිබඳ සුවිශේෂී සමාජ මාධ්‍ය අංගයක් සංවිධානය කරන ලද බව පවසයි.

පිලිපීනයේ ප්‍රමුඛතම දෘශ්‍ය කලා සඟරාවක් වන ආර්ට් ප්ලස් සඟරාව, එහි අන්තර්ගතය සංස්කෘතිය සහ සංගීතය, චිත්‍රපට, නැටුම්, රංග කලාව, සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය මෙන්ම සුඛෝපභෝගී හා යහපත් ජීවන වැනි අනෙකුත් අංශයන් කරා පුළුල් කර ඇත. එහි සේවාදායකයින් වැඩි වශයෙන් තේවල ප්‍රතිලාභ එහි පිරිසිදු ස්වරූපයෙන් භුක්ති විඳින ඉහළ පෙළේ තේ ලෝලීන් සහ රස විඳින්නන්ගෙන් සමන්විත වේ.

වීඩියෝ විශේෂාංගය ආරම්භ කරමින් තානාපතිනී ශෝබිනී ගුණසේකර මහත්මිය, ශ්‍රී ලංකාව ලොව හොඳම තේ වගාව සහිත රට බවට පත් කළ එහි සුවිශේෂී අංගයන් කේන්ද්‍ර කර ගනිමින් හඳුන්වාදීමේ අදහස් දක්වා තිබේ. පසුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සවිස්තර ඉදිරිපත් කිරීමක් මඟින් ප්‍රමුඛ පෙළේ ලංකා තේ ප්‍රභේද ප්‍රදර්ශනය කර තිබේ.

පිලිපීනයේ සුවිශේෂී දිල්මා තේ බෙදාහරින්නා වන ඉක්විලිබ්‍රියම් ඉන්ටර්ට්‍රේඩ් කෝපරේෂන් සමාගම ද, එම සමාගම සහ තේ නිෂ්පාදන පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් සමඟ සහභාගී වී තිබේ. විශේෂාංගයේ ප්‍රවර්ධන අගය තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ගයක් ලෙස සමාගම නරඹන්නන් පස් දෙනෙකු සඳහා අනර්ඝ තේ තෑගි පැකට් ලබා දිම සිදුව ඇත.

ප්‍රධාන වශයෙන් කෝපි පානය කරන පිලිපීනය තුළ ලංකා තේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව විදේශීය හා දේශීය කිරි තේ දාම පුළුල් වීම මෙන්ම සෞඛ්‍ය හා සුවතා ප්‍රවණතාවය යටතේ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයින්ගේ ඉහළ යමින් පවතින කැමැත්ත තුළින් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ පිලිපීනය වෙත කරන ඉහළම අපනයන අතර කළු තේ නිරන්තරයෙන් ශ්‍රේණිගත වී ඇති අතර, එරටට කරන අපනයනවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අත් කර ගන්නා බවත් තානාපති කාර්යාලය පවසයි.

Visits: 40