LB Finance වෙතින් කොටසකට රුපියල් 2.25 බැගින් ලාභාංශ ගෙවීමක්

තොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගම (LFIN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.25 ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 09 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස මාර්තු 19 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

අද වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 554,057,136 ක් වන අතර, මෙම ලාභාංශ ගෙවීම හරහා රුපියල් බිලියන 1.2ක  (රුපියල් 1,246,628,556 ක) මුදලක් කොටස් හිමිකරුවන් අතර බෙදී යාමට නියමිතව තිබේ.

එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන් අතරින් වැඩිම කොටස් ප්‍රමාණය වන කොටස් 286,729,600ක එනම් 51.751%ක් හිමිව ඇත්තේ වැලිබල් වන් පීඑල්සී සමාගමටයි. එසේම දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන රෝයල් සෙරම්ක්ස් ලංකා පීඑල්සී සමාගමට කොටස් 144,492,928ක් එනම් 26.07%ක කොටස් ප්‍රතිශතයක් හිමිය.

Views: 0