කොළඹ වරාය නගරයේ අදියර 2 සංවර්ධනයට චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් වෙතින් ඩො.මි. 300ක ප්‍රති-ආයෝජනයක්

කොළඹ වරාය නගරයේ අදියර 2 (Phase 2) යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ප්‍රති-ආයෝජනයක් සිදු කරන බව චීනයේ චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි සමාගම පවසයි.

එම සමාගමේ සභාපති වැන්ග් ටොන්ග්සොයු පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මෙම ආයෝජනය පිළිබඳව කරුණු සඳහන් කර තිබේ. ඔහු සමගින් චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව තිබේ.

සභාපතිවරයා සඳහන් කර ඇති ආකාරයට මේ වසරේ ජූනි මාසය වනවිට මෙලෙස එම සමාගම කොළඹ වරාය නගරය තුළ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 300ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර සිටියි.

2014 වසරේ දියත් කෙරුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම CHEC Port City Colombo (Pvt) හරහා ඩොලර් බිලියන 1.4ක මුදලක් දැනටමත් ආයෝජනය කර තිබේ.

කොළඹ වරාය නගරයේ සිදු කරන මෙම අදියර 2 සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරට ප්‍රමුඛතම සමාගමක් වන LOLC සමූහය සම්බන්ධව සිටියි. මේ සඳහා LOLC  සමූහය සිය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම හරහා ඩොලර් මිලියන 114ක මුදලක් 2021 වසරේදී ආයෝජනය කළ අතර, වසර දෙකක් තුළ තවත් ඩොලර් මිලියන 86ක මුදලක් ආයෝජනය සැලසුම විය.

මෙම අදියර 2 සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය නගරය තුළ නිකේතන වරාය (Marina) ව්‍යාපෘතියක්, මරීනා හෝටල් ව්‍යාපෘතියක් මෙන්ම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හා සම්බන්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්ද ඉදිකිරීමට සැලසුම වී තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘති සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම 2023 වසරේ ඔක්තෝබර් 17 වැනිදා චීනයේ බීජිං නුවරදී සිදු වුණූ අතර, ඒ සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම වෙනුවෙන් එහි සභාපති දිනේෂ් වීරක්කොඩි, LOLC සමූහය වෙනුවෙන් LOLC Investment හි අධ්‍යක්ෂ කමන්ත අමරසේකර,  චයිනා හාබර් සමාගම වෙනුවෙන් එහි සභාපති ටැන්ග් ක්ආලිආන්ග් සහ හුනාන් කන්ස්ට්‍රක්ෂන් ඉන්වෙස්ට්මන්ට් සමූහය වෙනුවෙන් එහි සභාපති කායි ඩිආන්වෙයි යන මහත්වරුන් අත්සන් තබා තිබේ.

මේ අතර වාර්තා සඳහන් වන ආකාරයට ලබන මාර්තු 12 වැනිදා කොළඹ වරාය නගරයේ අදියර 2 සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වීමටද නියමිතව තිබේ.

Views: 0