ශ්‍රී ලංකාවේ Santani ඕමානය තුළ නිවාඩු නිකේතන දෙකක් ඉදිකිරීමට යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සුවතා නිවාඩු නිකේතන සන්නාමයක් වන Santani Wellness Resorts සමාගම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසෙමින් ඕමානයේ ස්ථාන දෙකක් තුළ නව නිවාඩු නිකේතන දෙකක් ඉදිකිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඕමාන සංචාරක සංවර්ධන සමාගම (ඔම්රන් ගෘප්) සමගින් ඇති කරගත් එකඟතාව යටතේ Santani Wellness Resorts සමාගම මෙලෙස නිවාඩු නිකේතන දෙකක් ඉදිකර එහි මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිතව තිබේ.

පසුගියදා ජර්මනියේදී පැවැත්වුණු ITB 2024 සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනය අතරවාරයේදී මේ පිළිබඳ අනාවරණය කෙරිණි.

මෙම නිවාඩු නිකේතන දෙක ඕමානයේ අද් ඩාකිලියාහ්හි ජබාල් ෂාම්ස් ප්‍රදේශයේ සහ දොෆාර් පළාතේ ඉදි කෙරෙනු ඇතැයි සඳහන් වෙයි. මෙම නිවාඩු නිකේතන දෙකෙහි සමස්ත කාමර සංඛ්‍යාව 182ක් වනු ඇති බවත්, ඒ සියල්ලම ඉහළම තිරසාරත්වයෙන් ඉදිකිරීමත් සැලසුම වී තිබේ.

සිය නවතම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති Santani හි ප්‍රධාන විධායක නිලධාරී විකුම් නවගමුවගේ මහතා, “අපගේ සෞඛ්‍ය, යහපැවැත්ම සහ පාරිසරික භරකාරීත්වය යනාදී දේ සමගින් අපට ස්වභාව සෞන්දර්ය සහ සංස්කෘතික උරුමයන්ද සමගින් වෙනත් කිසිදු තැනකදී නොලැබෙන ආකාරයේ සුවතා අත්දැකීමක් ලබාදීමට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියි.

අද වනවිට ශ්‍රී ලංකාව තුළ මෙවැනි සුවතා නිවාඩු නිකේතන තුනක් පවත්වාගෙන යන Santani සමාගම මෙම ඕමානයේ නිවාඩු නිකේතන දෙකද සමගින් ඉදිරියේදී තවත් නිවාඩු නිකේතන අටක් පිහිටුවීමටත් සැලසුම් කරමින් සිටින බව පවසයි.

Views: 0