රක්ෂණ සංස්ථාවේ රජය සතු කොටස් මිලදී ගැනීමට කැමැත්ත විමසා දැන්වීම් පළ කෙරේ

මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) රජය සතු කොටස් සියල්ල හෝ බහුතරයක් මිලදී ගැනීම සඳහා කැමැත්ත දක්වන පාර්ශ්වයන්ට ආරාධනා කරමින් පසුගියදා ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීමට මුදල්, ආර්ථික ස්ථායිතාව සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙහිදී එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය (SOERU) සහ අදාළ අලෙවියට සම්බන්ධ මූල්‍ය උපදේශක ආයතනය වන අල්වාරෙස් ඇන්ඩ් මාර්සල් ආයතනය එක්ව මෙම දැන්වීම පළ කර තිබේ.

එහි සඳහන් ආකාරයට අද වනවිට ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ලෙස ව්‍යාපාර දෙකක් බවට පත් කර ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් යන සමාගම්හි කොටස් මිලදී ගැනීම සඳහා මෙම ආරාධනාව ඉදිරිපත් කර ඇත.

මෙම දැන්වීමේ සඳහන් ආකාරයට 2022 වසර වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ සමාගම ඩොලර් මිලියන 65ක දළ ලිඛිත වාරිකයක් (GWP) වාර්තා කර තිබේ. එසේම අද වනවිට එම සමාගම ලංකාවේ තෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගමද වෙයි. එය සතු සමස්ත රක්ෂණහිමිකම්ලාභීන් සංඛ්‍යාව මිලියනයකි. එසේම එම සමාගම පසුගිය වසර 5දී වඩාත් ආදරණීයම රක්ෂණ සන්නාමය ලෙසින් පිදුම් ලැබූ බවත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථෘවේ සාමාන්‍ය රක්ෂණ සමාගම 2022 වසර වනවිට ඩොලර් මිලියන 63ක දළ ලිඛිත වාරිකයක් (GWP) වාර්තා කිරීමට සමත්ව තිබේ. එසේම එය අද වනවිට මෙරට දෙවැනි විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගමද වෙයි. එය සතු සමස්ත රක්ෂණ හිමිකම්ලාභීන් සංඛ්‍යාව මිලියන 1.2කි. එසේම පසුගිය වසර පහක කාලයේදී එම සමාගම මෙරට වඩාත් වටිනාම රක්ෂණ සන්නාමය වූ බවත් පවසයි.

මෙහිදී අදාළ කොටස් අලෙවි කිරීමේ කටයුතු අදියර දෙකකින් යුත් තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදයක් අනුව සිදු වනු ඇති බවත්, පළමු අදියර යටතේ මේ සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්වන් සිය අභිලාශය ප්‍රකාශ කිරීමක් සිදුකළ යුතුව ඇතැයිද එහි සඳහන් වෙයි.

අද වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව තවත් පරිපාලිත සමාගම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙයි. ඒ අතරින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සීහි 51.34%ක් හිමිව ඇත්තේ රක්ෂණ සංස්ථාවටයි. එසේම ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගමේ 99.94%ක කොටස් හිමිකාරීත්වයක්ද, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්) සමාගමේ 100%කද එම සමාගමට අයත්ය.

මීට අමතරව කැනොවිල් හොටේල්ස් ඇන්ඩ් ස්පාස් (පෞද්) සමාගමේ 100%ක හිමිකාරීත්වයක් සහ කැන්විල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ 45.95%ක්ද රක්ෂණ සංස්ථාව සතුය.

Views: 0