Lumala සමාගම කසළ කළමනාකරණය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක Eco Hauler e-bike හඳුන්වා දෙයි

City Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම සිය නවෝත්පාදන සහ පරිසර හිතකාමී ගමන්මඟෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් Eco Hauler නමින් කසළ කළමනාකරණය සඳහා වන විද්‍යුත් පාපැදියක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළ බව පවසයි.

USAID Clean Cities සහ Blue Ocean (CCBO) වැඩසටහන සමඟ එක්ව මෙම Eco Hauler විද්‍යුත් පාපැදි ව්‍යාපෘතිය දියත් කර තිබේ.

විශේෂයෙන්ම මෙරට තුළ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වුවද ඉන් ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන්නේ 4%ක තරම් ඉතා සුළු ප්‍රමාණයකි. ඒ අනුව කසළ කළමනාකරණයේ මෙම දැඩි අවශ්‍යතාව සැළකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරී ඇත.

මේ හරහා සමුද්‍ර පරිසර දූෂණය මැඬපැවැත්වීම, දේශගුණික විපර්යාස අවමකිරීම මෙන්ම නාගරික සහ වෙරළාසන්න ප්‍රදේශවල ද ගංගා ඉවුරු ආශ්‍රිතව ද කසළ කළමනාකරණයේ කාර්යක්ෂමතාව නැංවීම අරමුණු කෙරේ.

දැරිය හැකි මිල, අවම මෙහෙයුම් පිරිවැය, ඉහළ ධාරිතාව, පරිසර හිතකාමී නිමැවුම ආදී සියලු අංශයන් තුළින් Lumala සමාගමේ තිරසර කේන්ද්‍රීය වැඩසටහන පිළිබිඹු කරන බවත් සමාගම පවසයි. එසේම මෙරට කසළ කළමනාකරණය වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් මෙමගින් ලබාදීමට පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවන්ට එළඹීමට සමාගම අපේක්ෂා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Lumala සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තාරික් මිෆ්ලාල් මහතා, ″Lumala සමාගමේ අභිප්‍රාය වන්නේ හුදෙක් නවෝත්පාදන නිෂ්පාදන හඳුන්වාදීම පමණක් නොවෙයි. Eco Hauler ව්‍යාපෘතිය හරහාත් පාරිසරික තිරසරභාවය තුළින් වඩාත් පිරිසිදු සහ හරිතවත් වටාපිටාවක් බිහිකිරීම වෙනුවෙන් අපගේ කැපවීම පෙන්නුම් කෙරෙනවා″ යනුවෙන් පවසයි.

Views: 0