ඩර්ඩන්ස් රෝහලෙන් රුපියල් මිලියන 549ක් වටිනා හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී (ඩර්ඩන්ස් රෝහල) සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් (CHL.N0000) සඳහාම අලුතින් කොටස් 7ක් සහ සෑම නිෂ්ඡන්ද කොටසක් (CHL.X0000) සඳහාම අලුතින් කොටස් 7ක් ලැබෙන ලෙස මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව එම සමාගම සඳහන් කරයි.

අද වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 27,122,726ක් ලෙසත් නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 8,867,044ක් ලෙසත් සඳහන්ව තිබේ.

ඒ අනුව  සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී සමාගම අලුතින් ඡන්ද හිමි කොටස් 3,874,675ක් සහ නිෂ්ඡන්ද කොටස් 1,266,721ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි සමාගම පවසයි.

මෙහිදී ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 112.50ක් ලෙසත් නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 90.00ක් ලෙසත් ප්‍රකාශ කර තිබේ.

මෙම හිමිකම් නිකුතුව හරහා සමාගම රැස් කිරීමට බලාපොරොත්තු වන සමස්ත අරමුදලේ වටිනාකම රුපියල් 549,905,827.50ක් (ඡන්ද හිමි කොටස් හරහා රුපියල් 435,900‍,937.50ක් සහ නිෂ්ඡන්ද කොටස් හරහා රුපියල් 114,004,890.00ක් ලෙස) බවත් සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී සමාගම පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් සමගින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 549,905,827.50කින් ඉහළ යාමට නියමිතව තිබේ.

අද වනවිට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.14ක් (රුපියල් 1,142,797,779ක්) ලෙස සටහන්ව ඇත.

මේ අතර සිදුකරන මෙම හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා මුදලින් කොටසක් සමාගම මගින් ලබා ගෙන ඇති ඉහළ පොළියක් සහිත ණය ආපසු ගෙවීම සඳහා උපයෝගී කරගන්නා බවත් සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Views: 0