චීන සු‍ඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරියේ සිට අප්‍රේල් දක්වා ලංකාවට

චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා පවසයි.

ඒ අනුව මෙම නෞකා අතරින් බොහෝමයක් කොළඹ වරාය වෙත පැමිණෙනු ඇති බවත්, තවත් නෞකා කිහිපයක් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි නැංගුරම් දමනු ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරීෆෝ ඩීන් මහතා පැවසූ බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත පසුගියදා සඳහන් කර තිබේ.

මෙහිදී පැමිණෙන මෙම එක් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් තුළ මගීන් 1000ක් පමණ සිටින බවත්, එක් නෞකාවක් මෙරට වරායන්හි දින දෙකක කාලයක් නැංගුරම් ලා තැබීමට බලාපොරොත්තු වන බවත් පැවසෙයි. ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම් හරහා මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුව වී තිබේ.

මේ වසරේ පෙබරවාරි 16 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 350,000ක් ඉක්මවා තිබේ. ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාව වී ඇත.එසේම ජනවාරි මාසයේදී සංචාරකයන් 208,253ක් මෙරටට පැමිණ ඇත.

2023 වසරේදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් මෙරට වෙත පැමිණ ඇති අතර මේ වසරේදී එය ලක්ෂ 25ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී තිබේ.

Views: 0