හැටන් නැෂනල් බැංකුවෙන් කොටස් සහ මුදල් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කොටස් හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ සහ මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී ඡන්ද හිමි (HNB.N0000) සහ නිෂ්ඡන්ද (HNB.X0000) කොටස් සඳහා වන ලෙස මෙම කොටස් සහ මුදල් ලාභාංශ ගෙවීම සිදු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙය 2023 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන ලාභාංශ ගෙවීම් බව බැංකුව පවසයි.

මෙහිදී සෑම ඡන්ද හිමි කොටසක් (HNB.N0000) සඳහාම කොටස් 47.9ක් (47.9411792612) සහ සෑම නිෂ්ඡන්ද කොටසක් (HNB.X0000) සඳහාම කොටස් 40.8ක් (40.8823597886ක්) ලබාදීමට තීරණය කර තිබේ.

මේ වසරේ පෙබරවාරි 15 වැනිදා වනවිට හැටන් නැෂනල් බැංකුව මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 446,651,811ක් ලෙසත් නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 113,086,576ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව මෙම කොටස් ලාභාංශ නිකුතුව හරහා හැටන් නැෂනල් බැංකුව මගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 9,316,663 කි. එසේම නිෂ්ඡන්ද කොටස් 2,766,146ක්ද නිකුත් කර තිබේ.

මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් 163.00ක් ලෙසත් නිෂ්ඡන්ද කොටසක් රුපියල් 139.00ක් ලෙසත් මිල කෙරී තිබේ.  ඒ අනුව මෙම නිකුතුව හරහා ප්‍රාග්ධනීකරණය කෙරෙන වටිනාකම රුපියල් බිලියන 1.9ක් (1,903,110,515.80ක්) ලෙස ගණන් බලා ඇත.

මේ අතර සමාගම මගින් සිය ඡන්ද හිමි කොටස් සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා රුපියල් 4.00ක් බැගින් මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම මුදල් ලාභාංශ ගෙවීම හරහා ලබා දෙන සමස්ත මුදල රුපියල් 48,330,996ක් ලෙස ගණන් බලා තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස අප්‍රේල් 16 වැනිදා නම් කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අප්‍රේල් 01 වැනිදා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මෙම මුදල් ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලැබිය යුතු බවත්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන මාර්තු 28 වැනිදා පවත්වන බවත් හැටන් නැෂනල් බැංකුව වැඩිදුරටත් පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන්වරට ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනය නිමාවේදී හැටන් නැෂනල් බැංකුවෙහි ඡන්ද හිමි කොටසක (HNB.N0000) වටිනාකම රුපියල් 163.00ක් ලෙස සටහන්ව තිබුණි. එසේම නිෂ්ඡන්ද කොටසක වටිනාකම (HNB.X0000) රුපියල් 138.00ක් විය.

අද වනවිට හැටන් නැෂනල් බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 40ක් (40,955,116,000.00ක්) ලෙස ගණන් බලා තිබේ.

Views: 0