කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් වෙත ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

ඉන්දියාවේ අදානි සමූහය, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය එක්ව ඉදිකරන කොළඹ වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 553ක අරමුදල් සැපයීමක් සිදු කරන බව එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව (DFC – The US International Development Finance Corporation) පවසයි.

ඊයේ දිනයේදී මෙරටට පැමිණි එම සහයෝගිතාවේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් අද දිනයේදී මාධ්‍ය අමතමින් මෙම අරමුදල් සම්පාදනය පිළිබඳව අනාවරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා පිහිටුවා ගෙන ඇති Colombo West International Terminal Pvt Ltd සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51%ක් ඉන්දියාවේ අදානි පෝර්ට්ස් සමාගමට හිමිය. එසේම 34%ක කොටසක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමටත්, 15%ක් වරාය අධිකාරියටත් හිමිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නාතන් මහතා, “DFC මගින් ලබා දෙන මෙම ඩොලර් මිලියන 553ක දායකත්වය මෙම බටහිර බහාලුම් පර්යන්ය (WCT) වෙත ලබා දෙන පෞද්ගලික අංශයේ ණයක්. එමගින් මෙම වරායේ නෞකා මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමටත්, ශ්‍රී ලංකාව සඳහා ඉහළ සෞභාග්‍යයක් කැඳවීමටත් හැකිවේවි. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානතම නෞතා පර්යන්ත මධ්‍යස්ථානයක්. ලෝකයේ නෞකා අතරින් අඩක් පමණ ගමන් කරන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා.” යනුවෙන් පවසා තිබේ.

මෙලෙස උපායමාර්ගිකව වැදගත් ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි හම්බන්තොට වරාය මේ වනවිට චීන පාලනය යටතේ ක්‍රියාත්මක වන බවත්, එම අවස්ථාවේදීම ඇමෙරිකා එක්සත් ජනපදය කොළඹ වරායේ ඉදිරි සංවර්ධනය වෙත ආයෝජනය කිරීම කැපී පෙනෙන අවස්ථාවක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මීටර් 800කින් සමන්විත පර්යන්තයක් ඉදි කෙරේ. එහිදී අර්ධ ස්වයංක්‍රීය පර්යන්ත අද්දර දොඹකර 08ක් මෙහෙයුම් සඳහා යොදා ගන්නා බවත් පැවසෙයි.

එසේම පර්යන්තය තුළ බහාලුම් මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18ක් එක් කිරීමටද නියමිතව ඇත. මීට අමතරව මුළුමනින්ම ස්වයංක්‍රීය ගේට්ටු සංකීර්ණයක්ද, දත්ත විශ්ලේෂණ පද්ධතියක්ද ඉදිකිරීමට යෝජිත බව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (පෞද්ගලික) සමාගම පවසයි.

Visits: 92