ඒෂියන් බෑන්කර් විසින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත.

ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි.  

කොමර්ෂල් බැංකුව තැන්පතු, ලාභය, පිරිවැය, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, ගාස්තු, සංචිත, ණය සහ වත්කම් මගින් ලැබුණු ප්‍රතිලාභ සඳහා ඉහළ ලකුණු ලබා ගැනීම නිසාවෙන් බැංකුවට 5.53ක සමස්ත ශක්ති අගයක් ලබා දී ඇත.

ඩොංයිං බැංකුව (චීනය), ෆෙඩරල් බැංකුව (ඉන්දියාව), ඉන්වෙස්ටෙක් බැංකුව (දකුණු අප්‍රිකාව), අල්ෆලා බැංකුව (පකිස්ථානය), RCBC බැංකුව (පිලිපීනය), හා BNP පරිබා බැංකුව (පෝලන්තය), කොමර්ෂල් බැංකුව සමඟ ශක්ති දර්ශකයේ එම අගයම සහිතව ශ්‍රේණිගත කර ඇත.

මෙම ශ්‍රේණිගත කරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “ඔරොත්තු දීමේ හැකියාව නිරූපණය කරන ‘ශක්තිය’ මූල්‍ය ආයතනයක් සඳහා වඩාත්ම වැදගත් දර්ශකයක් වන අතර එය අද ශ්‍රී ලාංකේය සන්දර්භය තුළදී වඩාත් අනුකූල වේ. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම මුළුමනින්ම පදනම් වී ඇත්තේ, මූල්‍ය ශක්තිය ගණනය කිරීම සඳහා බහුවිධ කාර්ය සාධන සංඛ්‍යා භාවිතා කරන විෂයානුබද්ධ තක්සේරුවක් මත වන අතර, එමගින් එය ආඥාත්මක මිණුම් ලකුණක් බවට පත් කරයි.”

Visits: 52