කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඉන්දියාවේ Amul අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා එකඟතාවක්

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (Amul ව්‍යාපාරය) සහ ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට සූදානම් බව පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාළ අදාළ ගිවිසුමට එළඹීම ඊයේ (11) ජනාධිපති මන්දිරයේදී සිදුවිය. ඒ අනුව ඉන්දියානු සාගර කලාපීය වටඅද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිකරගත් මෙම ගිවිසුම මගින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය සඳහා අරමුදල් සැපයේ. ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වනු ඇත.

ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.

ඊට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රය ඩිජිටල්කරණය, කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම වෙනුවෙන් නව තාක්ෂණය සඳහා ආයෝජනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් උදා වේ.

මෙලෙස ගිවිසුම්ගත වීම හරහා පිහිටුවන් ලැබූ ඒකාබද්ධ සමාගමෙහි 49% ක කොටස් හිමිකාරීත්වය කාගිල්ස් (සිලෝන්) සමූහ ව්‍යාපාරය සතුවනු ඇතැයි එම සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණි.

Visits: 102