LOLC සමූහය සිය ඉදිරි ගෝලීය ව්‍යාප්තිය සඳහා ඩොලර් මිලියන 100ක බැඳුම්කරයක් නිකුත් කරයි

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC (LOLC  Holdings PLC) සමූහය Sustainable Capital PLC සමාගම හා එක්ව එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් වටිනා තිරසාරත්ව බැඳුම්කරයක් සාර්ථකව නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙම Sustainable Capital PLC සමාගම එක්සත් රාජධානියේ පිහිටි Bedford Row Capital PLC සමාගමෙහි පරිපාලිත සමාගමකි.

Sustainable Capital PLC යනු ප්‍රාග්ධන අවශ්‍යතාවන් පවතින සමාගම් වෙත ආයෝජන අවස්ථාවන් සම්පාදනය වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාගමකි. එය එක්සත් ජනපදයේ NASDAQ හි තිරසාර බැඳුම්කර ජාලය මගින්ද පිළිගත් සමාගමක් ලෙස සැලකෙයි.

මෙලෙස නිකුත් කරන බැඳුම්කර ඉදිරියේදී ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීමටද සැලසුම් කරමින් තිබෙන බව LOLC සමූහය සඳහන් කරයි.

විශේෂයෙන්ම LOLC සමූහයෙහි ගෝලීය බලගැන්වුම තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන රැස් කිරිමක් ලෙස මෙම බැඳුම්කරය නිකුත් කර තිබේ.

මෙම බැඳුම්කරය හරහා රැස් කරගන්නා ප්‍රාග්ධනය LOLC සමූහයට අයත් සිංගප්පූරුවෙහි පිහිටි පරිපාලිත සමාගමක් වන LOLC Financial Sector Holdings Private Limited (LFSH) වෙත උපායමාර්ගික සංවර්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් යොදවන බවත් සඳහන් වෙයි.

සිංගප්පූරුවෙහි පිහිටි මෙම LOLC Financial Sector Holdings Private Limited සමාගම අද වනවිට ලොව පුරා රටවල් 20ක් තුළ ක්‍රියාත්මක ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 21ක මෙහෙයුම් පවත්වාගෙන යන බවත්, මෙම බැඳුම්කරය හරහා ලැබෙන අරමුදල් එම සමාගමෙහි මූල්‍ය සේවාවන් තවදුරටත් බලගැන්වීම සඳහා යොදා ගත හැකි බවත් සමාගම පවසයි.

අද වනවිට ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සමාගමක් ලෙස හඳුනාගෙන ඇති LOLC සමූහය මගින් ලොව පුරා මිලියන 1.3ක පාරිභෝගික ජනතාවකට පහසුකම් සලසයි. ඒ හරහා ඔවුන් වෙත මූල්‍ය ඒකාග්‍රතාව සහ ස්වාධීනත්වය ලබාදීම සැලසුම වී තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේදී ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ මධ්‍යම අප්‍රිකාව යන රටවල සිය ගෝලීය ව්‍යාප්තිය පෙන්නුම් කර ඇති LOLC සමූහය මෙම වසර තුළදී  සිය මෙහෙයුම් ඉන්දියාව, උතුරු ඇමෙරිකාව සහ මධ්‍යම ඇමෙරිකාව තුළත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර සිටියි.

Visits: 178