ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනට?

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණ ඡන්දය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පවසයි.

අද දිනයේදී පළ වුණු ‘දේශය‘ පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදුකරමින් ධම්මික පෙරේරා මහතා මේ බව පවසා තිබේ.

විශේෂයෙන්ම ඉදිරි ජනපතිවරණය සඳහා ධම්මික පෙරේරා මහතා ඉදිරිපත්වන බවට පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් දේශය පුවත්පත මෙම විමසුම සිදුකළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ප්‍රකාශ කෙරෙන සමස්ත ඡන්ද අතරින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ධම්මික පෙරේරා මහතා, තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බවද පවසා තිබේ.

මේ අතර ඔහු ජනපතිවරණ සටනට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසුමකට පිළිතුරු දී ඇති හෙතෙම තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණක් පවසා තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ එම සමාගම්වල දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූයේය.

Visits: 241