HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සමඟින් එකඟතාවකට

ශ්‍රී ලංකාවේ 25 වසරක පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී.

කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් 500 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් දෙවනුවට වැඩිම පිරිසක් පැමිණෙන රට ඉන්දියාව වන අතර 67 වැනි TAAI සම්මුතිය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සංචාරක නියෝජිතයින්, සංචාර මෙහෙයවන්නන් සහ හෝටල් හිමියන්ට නව සම්බන්ධතා ඇති කරගැනීමටත් සහයෝගිතාවය වර්ධනය කර ගැනීමටත් කදිම වේදිකාවක් විය.

සංචාරක ව්‍යාපාරය ඇතුළුව සියලුම කර්මාන්ත වෙනුවෙන් කැපවෙන HUTCH ආයතනය, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් ක්‍රියාකරුවන් රැසක් වන Jio, Airtel සහ Vodafone Idea සමඟ එක්ව දිනකට ඇමරිකානු ඩොලර් 1ක් වැනි අඩු මුදලකට රෝමිං පහසුකම් ලබා දීම මඟින් සංචාරක කාල සීමාව තුළ අනපේක්ෂිත බිල්පත් ගාස්තු වලින් සංචාරකයින් සුරක්ෂිත කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හම්ඩි හසන් මහතා පැවසුවේ “67 වැනි TAAI සම්මුතියේදී SLAITO සහ TAAI සමඟ අපගේ හවුල්කාරිත්වයට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය ගැන අපි සතුටු වෙනවා. රටේ ප්‍රමුඛතම ටෙලිකොම් ක්‍රියාකරුවෙකු ලෙස, දේශීය සහ විදේශීය සංචාරකයින්ට විශිෂ්ටතම ජංගම අත්දැකීමක් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම කියා නිම කළ නොහැකි අතර, ආර්ථික වර්ධනයට, රැකියා අවස්ථා ඇති කිරීමට සහ ජාතීන් අතර සංස්කෘතික හුවමාරුවට එය මහත් පිටුවහලක්. අපගේ දීප ව්‍යාප්ත සහ ගෝලීය ආවරණය මෙන්ම E-SIM වැනි පහසුකම් නිසා HUTCH ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සුදුසුම සන්නිවේදන සහකරු බවට පත් කරයි.”

සංචාරකයින්ට විශිෂ්ට සංචාරක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් HUTCH සිදුකරන කැපවීම අගයමින් SLAITO හි සභාපති නිශාඩ් විජේතුංග මහතා. “මෙම සම්මුතියේ සන්නිවේදන සැපයුම්කරු ලෙස HUTCH ක‍ටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඔවුන්ගේ විශ්වාසනීය සේවාවන් 67 වන TAAI සම්මුතියේ සාර්ථකත්වයට නිසැකවම දායක වී ඇත. අපගේ සහයෝගිතාවය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව අපට විශ්වාසයි.” යනුවෙන් පවසා සිටියි.

Visits: 58