දකුණු ආසියාවේ ප්‍රථම වරට Al තාක්ෂණය ඇසුරෙන් පිළිකා කළින් හඳුනාගැනීමේ යෙදුමක් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි

පූර්ව පිළිකා රෝගී තත්ත්වයන් හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බලගැන්වුණු Opthascan වැඩසටහන ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදී ඇතැයි ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම පවසයි. ඒ අනුව දකුණු ආසියාව තුළ මෙම තාක්ෂණය භාවිත කරන පළමු රට ලෙසද ශ්‍රී ලංකාව ඉතිහාසයට පත්ව තිබේ.

පිළිකා රෝගය සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා ඉවහල් වන  නවෝත්පාදනයක් ලෙස මෙම Opthascan සැලකෙයි. මෙය ශරීරයේ අභ්‍යන්තර පිළිකා කිහිපයක් හඳුනා ගැනීම සඳහා අලුතින් එළිදක්වන ලද අහිතකර නොවන පරීක්ෂණ යෙදුමක් බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම Opthascan යෙදුම තුළින් පළමු වර්ගයේ පිළිකාවන් වෙන් කර හඳුනාගැනීමට සහ රෝගයේ සැබෑ ස්වභාවය මෙන්ම ගත වී ඇති කාලය පිළිබඳව නිශ්චිත තක්සේරුවක් ලබා දෙමින් නිවැරදි විසඳුම්වලට එළඹීමට අවස්ථාව ලැබෙන බව පැවසෙයි.  

මෙහිදී කෘත්‍රිම බුද්ධියේ සහ යාන්ත්‍රික ඉගෙනුම් බලය (Artificial Intelligence and Machine Learning) උපයෝගී කර ගනිමින් විවිධ ආකාරයේ පිළිකා ශරීරයට අහිතකර නොවන ලෙස හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් දකුණු ආසියාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන ලද මෙම Opthascan යෙදුම සතු වේ.

මෙමඟින් රෝගියෙකුගේ කළු ඉංගිරියාවෙහි ඡායාරූපයක් විශ්ලේෂණය කර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු, ගර්භාෂය සහ ගැබ්ගෙල පිළිකා ඇතුළු අභ්‍යන්තර පිළිකා  98%කට වඩා ඉහළ නිවැරදි අනුපාතයකින් හඳුනාගැනීමට හැකි බව පවසයි.

සායනික පරීක්ෂණ ඔස්සේ යුරෝපීය සංගමයේ අනුමැතිය සහ අවසරය නිල වශයෙන් හිමි වුණු Opthascan යෙදුම යුරෝපීය රටවල් හතරක මෙන්ම අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල ද ව්‍යාප්ත වී ඇත. GDPR වලට අනුකූල මෙම නවෝත්පාදනය දත්තවල අඛණ්ඩතාව සහ ආරක්ෂාව පිළිබඳව සහතික කරයි.

මෙම පරිවර්තනීය තාක්‍ෂණික යෙදුම  ශ්‍රී ලංකා රජයේ ද සහාය ඇතිව අපේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා  මේ වන විටත් පියවර ගනිමින් සිටියි. මෙම සාමූහික ප්‍රයත්නය පිළිකා රෝගයට එරෙහි  දැවැන්ත සටන වෙනුවෙන්  රටක් ලෙස අප ලබාදෙන මහඟු දායකත්වයක් ලෙස සැලකිය හැකිය.

පිළිකා රෝගී තත්ත්වයක් මුල් අවදියේදීම හඳුනාගැනීමේ හැකියාව පවතින්නේපිළිකාව වෛද්‍ය ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිචාරය සහ නිවැරදි මෙන්ම ඵලදායී ප්‍රතිකාර තුළිනි.

මෙම නවෝත්පාදනය පිළිබඳව අදහස් දක්වමින් මෙම කටයුත්තේ මූලිකත්වය ගෙන කටයුතු කරන බ්‍රෙන් සම්බුනාතන් මහතා මෙසේ සඳහන් කළේය. “Opthascan බලාපොරොත්තුවේ නව යුගයක් ආරම්භ කරනවා, මෙම නවීන තාක්‍ෂණය සමඟ අප සමාජය තුළ පවතින පිළිකා රෝගයේ බලපෑම අවමකිරීමට අපට හැකියාව ලැබෙනු ඇත.”

පිළිකා රෝගය පූර්ව අවදියේදීම  හඳුනාගැනීම සඳහා Opthascan මඟින් ලබාදෙන දායකත්වය සහ ඉන් ලැබෙන ප්‍රතිඵලයන් තුළින්  පිළිකා රෝගවලට ඔරොත්තු දෙන, සෞඛ්‍ය සම්පන්න  ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීමේ අනාගත අපේක්ෂාව සාක්ශාත් වනු ඇත.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී අනුපාතය දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වසර කිහිපය තුළ මෙරට පිළිකා රෝගී අනුපාතය පිළිබඳ වාර්තාවලින් මනාව පැහැදිලි වේ.

එනම්, 2005 සිට 2019 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ  පිළිකා රෝගීන්සංඛ්‍යාව 13,372 සිට 31,848 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 138% ක ඉහළ වර්ධනීය අගයක් පෙන්වයි.ගෝලීය වශයෙන් ද පිළිකා රෝගී වර්ධනය මෙම අගයට සමාන අනුපාතයක පිහිටයි. 

පිළිකා රෝගය පූර්ව වශයෙන් හඳුනා ගැනීම  පිළිකාවට එරෙහි සටන වඩාත් සාර්ථක වීම සඳහා වඩාත් ඵලදායි උපාය මාර්ගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් ප්‍රමුඛ  සෞඛ්‍ය සංවිධාන විසින් පෙන්වා දෙයි.

පිළිකා රෝගය කල් ඇතිව හඳුනා ගැනීම මඟින්  ප්‍රතිකාර හරහා ඵලදායි ප්‍රතිඵල  ලබා ගැනීමටත් සුවය ලබා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමටත්  වැඩි හැකියාවක් පවතී.

Views: 85