බිම්බුත් ෆිනෑන්ස් පීඑල්සී බලපත්‍රය අහෝසියි – තැන්පතුකරුවන්ට ආපසු මුදල් ගෙවීමට යයි

මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී (Bimputh Finance PLC) සමාගම වෙත මූල්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කරන බව මහ බැංකුව පවසයි.

මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දිනයේ (2023 සැප්තැම්බර් 01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බලපත්‍රය අහෝසි කිරීම සිදු කර තිබේ.

ඒ අනුව මෙම දිනයේ පටන් බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට කිසිදු මූල්‍යමය ව්‍යපාරයක නිරත විය නොහැකි බවත් මහ බැංකුව දැනුම් දී සිටියි.

බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ඇති වගන්තු උල්ලංඝණය කරමින් තවදුරටත් කටයුතු කිරීම මෙලෙස එම බලපත්‍රය අහෝසි කිරීමට හේතුව වූ බව මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි දරුණු මූල්‍ය තත්ත්වය මඟහැරවීම සඳහා ගත යුතු පියවර සම්බන්දයෙන් ලබාදුන් විශේෂීත උපදෙස් යනාදියද නොතකමින් එම සමාගම කටයුතු කර ඇතැයිද මහ බැංකුව පවසයි.

එසේම එම සමාගම ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වාගෙන යාමට අපොහොසත්වී තිබෙන බවත්, සමාගම සතුව පැවැති වත්කම්ද දුර්වල මට්ටමක පැවැති බවත් සඳහන් වෙයි. මීට අමතරව සමාගම දිගින් දිගටම පාඩු ලබමින් සිටි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

මේ අතර මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මහ බැංකුව ඉදිරිපත් කර තිබූ සැලසුම් යටතේ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට තවත් මූල්‍ය සමාගමක් හා ඒකාබද්ධවී සිය මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අවස්ථා ගණනාවකදීම කාලසීමාවන් දිගුකරමින් ඉඩ ලබාදී තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් දැක්වීමට එම සමාගම අපොහොසත් වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ලබාදුන් උපදෙස් අනුව 2022 වසර පුරාම එම සමාගම සිය තැන්පතු අතරින් වැඩි ප්‍රමාණයක මුදල් එම තැන්පතුකරුවන් වෙත ආපසු ගෙවිමට කටයුතු යොදා ඇතැයි සඳහන් වෙයි.

එසේම ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක වැඩසටහන යටතේ මෙම තැන්පතුකරුවන් සඳහා උපරිමව ලක්ෂ 11ක තැන්පතු මුදලක් ආපසු ලබාගත හැකි ලෙස ඉදිරියේදී කටයුතු යෙදනු ඇති බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි බලපත්‍රය අහෝසි කළ දිනයේ සිට වසර දෙකක කාලයක් ඇතුළතදී හෝ අධිකරණය මගින් එම සමාගම ඈවර කිරීම සඳහා ඈවරකරුවෙකු පත් කිරීමට පියවර ගන්නා අවස්ථාවට පෙරාතුව සුදුසුකම් ලත් සියලුම තැන්පතුකරුවන්ට මෙම මුදල ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ අතර බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙතින් ණය ලබා ගෙන ඇති සියලුම ණයකරුවන්ට එම ණය අදාළ සමාගම වෙත නියමිත දිනට ආපසු ගෙවන ලෙසත්, එහිදී බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නම් කරන ගිණුම් හරහා එම ණය ආපසු ගෙවීම සිදුකළ යුතු බවත් මහ බැංකුව දැනුම් දී සිටියි. එසේම මෙම ගෙවීම් පිළිබඳව වාර්තා පවත්වාගෙන යන ලෙසද මහ බැංකුව පවසයි.

මෙහිදී බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ද තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය සමාගම් සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 0112 477229, 0112 477504 යන දුරකතන අංක ඇමතිය හැකිය.

Views: 314