DIMO Healthcare වෙතින් ප්‍රථම වරට ZEISS SLT ග්ලුකෝමා ප්‍රතිකාරය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare වෙතින් ZEISS Selective Laser Trabeculoplasty (SLT) තාක්‍ෂණය ප්‍රථම වරට මෙරටට සාර්ථකව හඳුන්වා දෙන ලදී.

මෙම ප්‍රතිකාරය මඟින් ග්ලුකෝමා රෝගීන්ගේ දෛනික ඖෂධ අවශ්‍යතාවය සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් මවුන්ට් ලෝටස් රෝහලේදී ප්‍රථම ZEISS SLT යන්ත්‍රය ස්ථාපනය කිරීම සිදුකෙරිණි. ZEISS සඳහා බලයලත් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරමින් DIMO Healthcare රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උසස් විසඳුම් ගෙන ඒමට කැපවී කටයුතු කරයි. මෙම ප්‍රතිකාර ක්‍රමය එක්සත් රාජධානියේ National Institute for Health and Care Excellence (NICE) හි නිර්දේශ වලට අනුකූල වන අතර, Chronic open-angle ග්ලුකෝමා රෝගී තත්වයෙන් පෙළෙන්නන් ලෙස අලුතින් හඳුනාගත් පුද්ගලයින් සඳහා මූලික ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන ඇත.

බහුලව දක්නට ලැබෙන අක්ෂි රෝග වලින් එකක් වන ග්ලුකෝමා කෙරෙහි ගෝලීය වශයෙන් අවධානය යොමු වී ඇති අතර ZEISS SLT තුළින් ග්ලුකෝමා රෝගීන් සඳහා ඖෂධ මත යැපීම අවම කිරීම, ඔවුන්ගේ පහසුව වැඩි කිරීම සහ ප්‍රතිකාර තුළින් එලදායි ප්‍රතිඵල ලබාදීම සිදු කරයි. සාම්ප්‍රදායික ලෙස ග්ලුකෝමා මර්ධනය කිරීමේදී බොහෝ විට දෛනික ඖෂධ ලබා ගැනීමට සිදුවන අතර ZEISS SLT හඳුන්වාදීම තුළින් රෝගීන්ට වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ප්‍රතිකාර අත්දැකීමක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමේ තවත් එක් පියවරක් ලෙස DIMO Healthcare විසින් ZEISS SLT තාක්ෂණය පිළිබඳව දේශීය වෛද්‍ය වෘත්තිකයන් දැනුවත් කිරීම සඳහා සාර්ථක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණය, දැනුම හුවමාරු කරගැනීමේ සහ වැඩිදියුණු කරන ලද රෝගී සත්කාරක සඳහා අවශ්‍ය සහයෝගිතාවයන් වර්ධනය කරගැනීමේ වේදිකාවක් ලෙස හැඳින්විය හැක. මෙම නව්‍ය ZEISS SLT තාක්‍ෂණය, රෝගීන්ට ප්‍රතිලාභ ලබා දීම පමණක් නොව අක්ෂි වෛද්‍යවරුන් සහ ග්ලුකෝමා විශේෂඥයින් බලගැන්වීමද සිදුකරනු ලබයි.

DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ගෞරවනීය හවුල්කරුවන් සමඟ එක්වෙමින් මෙරට සෞඛ්‍ය අංශයට නවීන තාක්‍ෂණයන් හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටට පත්වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමට සක්‍රීයව දායක වන අතරම අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමේ අපගේ අරමුණ ඉටු කරගැනීමට අප නිරතුරුව කටයුතු කරනවා”.

ZEISS SLT හඳුන්වාදීම ලේසර් ග්ලුකෝමා ප්‍රතිකාරවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ගෝලීය වශයෙන් කීර්තිමත් සහ දශක ගණනාවක විශේෂඥ දැනුමකින් යුක්ත සෞඛ්‍ය අංශයේ තාක්ෂණික විසඳුම් ලබාදෙන ආයතනයක් වන ZEISS, ග්ලුකෝමා රෝගීන්ට එල්ලවන වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම අති නවීන විසඳුම නිපදවා ඇත. DIMO Healthcare ඉදිරියටත් ශ්‍රී ලාංකීය ප්‍රජාවන්හි සමස්ත යහපැවැත්ම සඳහා දායක වන පෙරළිකාර තාක්ෂණයන් අඛණ්ඩව හඳුන්වා දීමට සැදී පැහැදී සිටියි.

Visits: 35