ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට ඉන්ධන නල මාර්ගයක් පිළිබඳ IOC යෙන් යෝජනාවක්

ඉන්දියාවේ නාගපට්ටිනම් වරායේ සිට ත්‍රිකුණාමලය වරාය හරහා කොළඹ දක්වා ඇදෙන ඉන්ධන බෙදාහැරීමේ නලමාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම (IOC) යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ එම සමාගමේ ප්‍රධානීන් සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සිදුව තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ ත්‍රිකුණාමලය ටැංකි පද්ධතිය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, අනාගත පිරිපහදුවක් ලෙස සංවර්ධනය කිරීම, බොරතෙල් සහ ගෑස් ගවේෂණය යනාදී ලෙස රජය ගෙන යන වැඩපිළිවෙල වෙත අවධානය යොමු කරමින් මෙම නල මාර්ගය ද්විත්ව මාර්ගව ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනය කරන නල මාර්ගයක් ලෙස ඉදිකිරීම සම්බන්දයෙන් කටයුතු කරන ලෙසද පවසා තිබේ.

ඒ හරහා කලාපීය ඉන්ධන සහ ගෑස් අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගැනීම මෙන්ම දෙරටේම බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් අවස්ථාවද ඉන් සැලසෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම නල මාර්ගය පිළිබඳ යෝජනාව සම්මත කිරීමට පෙරාතුව එම ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්, තාක්ෂණික අවශ්‍යතාවන් පිළිබඳ හැදෑරීමක් ඇතුළු කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලදාරීන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය, අයිඕසී සහ ලංකා අයිඕසී සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 120