ලංකෙම් සමාගමට අයත් ආගරපතන වැවිලි සමාගම CSE හි මූලික කොටස් නිකුතුවකට සැරසෙයි

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමූහයෙහි පරිපාලිත වැවිලි සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සැලසුම වන අතර, ඒ සඳහා වන අනුමැතිය දැනටමත් කොළඹ කොටස් හුවමාරුව මගින් ලබා දී ඇතැයිද සඳහන් වෙයි.

ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමක් පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ මේ වසරේ ජනවාරි මාසයේදීය.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,070,111ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 9.00 ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් 747,630,999.00 කි.

කෙසේ වෙතත් මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කරන දිනයක් පිළිබඳව එම සමාගම මෙතෙක් අනාවරණය කර නැත.

මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටඩ් සමාගම කටයුතු කරයි.

මේ අතර ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සිය දළ සංස්ථා ප්‍රකාශය දැනටමත් ප්‍රසිද්ධිට පත් කර තිබේ.

Visits: 258