සිනොපෙක් සමාගම BOI සමගින් ඩොලර් මිලියන 100ක ආයෝජන එකඟතාවකට පිවිසෙයි

චීනයේ සිනොපෙක් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිනොපෙක් එනර්ජි ලංකා ලිමිටඩ් සමාගම මෙරට තුළ ඩොලර් මිලියන 100ක ආයෝජන එකඟතාවක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් ගිවිසුම් ගතවීම ඊයේ දිනයේදී සිදුවිය.

මෙරට වෙත ඉන්ධන ආනයනය, ගබඩාකරතබා ගැනීම සහ ඉන්ධන අලෙවිය යන කටයුතු සඳහා මෙම එකඟතාව පිවිස තිබේ. ඒ අනුව මෙරට තුළ ඉන්ධනහල් පිහිටුවීම සහ බෙදාහැරීම සිදුවනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී අදාළ එකඟතාව හුවමාරුවට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ සිනොපෙක් එනර්ජි ලංකා ප්‍රදාන විධායක නිලධාරී යු යුහුආ අතර සිදුවිය.

මෙම එකඟාව යටතේ චීනයේ සිනෝපෙක් සමාගම දැනට පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් තම කළමනාකාරිත්වය යටතට පත් කරගැනීම සහ අලුතින් ඉන්ධන පිරිවුම්හල් 50ක් පිහිටුවීමටත් නියමිතව තිබේ.

සිනොපෙක් එනර්ජි ලංකා සමාගම සමගින් ඇති කරගත් මෙම එකඟතාව යටතේ එම සමාගම සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා වසර 20ක කාලයක් හිමිවෙයි. එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අංක 17 දරණ පනත යටතේ ශ්‍රී ලංකා රජයේ නියාමන කොන්දේසිවලටයටත්ව එම මෙහෙයුම් සිදුකළ යුතුය.

සිනෙපෙක් සමාගම සිය ඉන්ධන පිරවුම්හල් හරහා විවිධ මාදිලියේ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරිමට සූදානමින් සිටියි. ඒ යටතේ ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මෙන්ම ඩීසල් සහ ජෙට් ඉන්ධන සහ අනෙකුත් ඩීසල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදනද වෙයි.

මෙලෙස ඉන්ධන අලෙවියට අමතරව සිනොපෙක් සමාගම තවත් අගය එකතු කළ සේවාවන්රැසක් ලබාදීමටත් බලාපොරොත්තුව සිටියි.ඒ අනුව ස්වයංක්‍රීය මෝටර් රථ සේදීම සහ මෝටර් රථ සේවා පහසුකම්, භාණ්ඩ අලෙවිසැල්, අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල්, ඉන්ටර්නෙට් කැෆේ, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මෙන්ම ආහාර අලෙවිසැල්ද ඒ අතර වෙයි.

මීට අමතරව සිනොපෙක් සමාගම සිය මෙහෙයුම් සූර්යවිදුලිබල පද්ධති, විදුලි ආරෝපණ ස්ථාන, බැටරි හුවමාරු පහසුකම් ඇතුළුව පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවන් වෙනුවෙන්ද සේවා සැලසීමට සූදානමින් සිටියි.

Visits: 89