ලින්ක් සමහන් Walmart සහ Amazon UK වෙතත් ප්‍රවේශ වෙයි

CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ පිහිටි බහුජාතීය වෙළඳ ජාලයන් වන Walmart සහ Amazon UK යන අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක ඔන්ලයින් වෙළඳපොළ වෙත ප්‍රවේශ වෙමින් විශිෂ්ට වූ ගෝලීය ව්‍යාපාරික ජයග්‍රහණයක් අත් කර ගෙන තිබේ.

පසුගිය වසර කිහිපය තුළදී ගෝලීය ‘ඊ-වාණිජ්‍යය වෙළඳපොළ’ පාරිභෝගිකයින් සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබුණි. ගෝලීය අන්තර්ජාල ප්‍රවේශය සහ පිළිගැනීම සීඝ්‍රයෙන් වර්ධනය වන විට, අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් කරනු ලබන පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

ලින්ක් සමහන් මේවන විටත් Amazon.com අන්තර්ජාල වෙළඳපොළ තුළට ප්‍රවේශ වී ඇති අතර එය දැන් Walmart.com සහ Amazon UK යන වෙළඳ ජාල තුළට ද ඇතුළත් කිරීමත් සමඟින් එහි ව්‍යාප්තිය පුළුල් වී තිබේ. සමහන් Walmart.com වෙත ප්‍රවේශ වීම මගින් ඇමරිකා එක්සත් ජනපදය පුරා පිහිටි 4,700 කට අධික Walmart බාහිර වෙළඳ ශාඛා තුළින්ද සමහන් මිලදී ගැනීමට හැකි වේ. මෙම ප්‍රවේශය ලින්ක් නැචුරල් හට උපායමාර්ගික වශයෙන් සුවිශේෂී වැදගත් කමක් වනු ඇත.

Fortune Global 500 විසින් 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී කරනු ලැබූ ලැයිස්තුගත කිරීමට අනුව Walmart හි වාර්ෂික ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 570ක් වන අතර එය ලොව විශාලතම සමාගම ලෙස හඳුන්වනු ලබයි. එහි මිලියන 2.2 ක පමණ සේවක පිරිසක් සිටින ලොව විශාලතම පෞද්ගලික සේවා යෝජකයා ද වනු ඇත.

Walmart විසින් නව නිෂ්පාදන අලෙවිය සඳහා බාර ගැනීමට ප්‍රථමව, විකුණුම්කරුවන් උසස් වෙළඳ ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාපටිපාටියක් යටතට ගනු ලබයි.

ලින්ක් නැචුරල් හි සභාපති ආචාර්ය නුගවෙල මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ” ජපානයේ Costco වෙළදසැල් ජාලය සඳහා අපගේ ලින්ක් සමහන් නිෂ්පාදන සාර්ථකව හඳුන්වාදීමට හැකි වූවා සේම Walmart.com වෙළඳපොළ ද අපට තවත් වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. අපි අපගේ බලයලත් අලෙවි නියෝජිතයා වන Kapruka LLC සමඟ එක්සත් ජනපදයේ අපගේ ඊ-වාණිජ්‍ය අලෙවි කටයුතු පුළුල් කරමින් සිටිනවා. ඒ වගේම වේගවත් ලෙස වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට සේවාවන් ලබා දීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා. සායනිකව සහ විද්‍යාත්මකව සහතික කරන ලද ශාකෞෂධීය ගුණය හා අතිරේක එකතූන් සමගින් එන සමහන් දැන් උතුරු ඇමරිකාව සහ එක්සත් රාජධානිය පුරා සිටින පාරිභෝගිකයින් වෙත Waltmart.com සහ Amazon UK හරහා ලබා ගත හැකි වීම බොහෝ සෙයින් සතුටට පත්විය හැකි කරුණක්.”

ලින්ක් සමහන් Walmart.com සහ Amazon UK හරහා මිලදී ගැනීමට අවස්ථාව ලැබීම හා ජපානයේ Costco වෙළඳසැල් ජාලය තුළ සමහන් අලෙවිය සඳහා අනුමැතිය හිමි වීම සමාන සාර්ථකත්වයක් අත්කර ගනු ලැබූ අවස්ථාවන් දෙකකි.

ජපාන වෙළඳපොළට ප්‍රවේශවීම විශාල ජයග්‍රහණයක් වූවද, එම ගෝලීය ප්‍රවේශවීම් තුළ ලින්ක් නැචුරල් විසින් අනුගමනය කරනු ලබන දැඩි තත්ත්ව ප්‍රමිතීන් තිබේ.

එපමනක් නොව, ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් සඳහා නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාව පවතින්නේ ගෝලීය නියාමන අවශ්‍යතාවයන්ට අනූව එම වෙළඳසැල් උසස් මට්ටමේ නිෂ්පාදන අපේක්ෂා කරන බැවිනි. එම අවකාශය ලින්ක් නචුරල් හි සමහන් විසින් අත්පත් කර ගෙන තිබීම ඉතා ප්‍රශංසනීය වේ.

ජාත්‍යන්තර වෙළඳපොළවල් තිහකට අධික ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වී ඇති ලින්ක් සමහන් ගෝලීය ඊ-වාණිජ්‍ය වෙළඳපොළවල් තුළ මෙන්ම ලෝකප්‍රකට පුද්ගලයන්ගේ ද පිළිගැනීමකට හා නිර්දේශයන්ට ලක් වෙමින් මෙරටට සුවිසල් කීර්තියක් අත්කර දී ඇත. තවද එය ශ්‍රී ලාංකේය සන්නාමයක් වශයෙන් දේශීය ආර්ථිකයට වඩාත් අත්‍යවශ්‍යව පවතින ඩොලර් අදායම් වර්ධනයට ද මහෝපකාරී වේ.

ලින්ක් නැචුරල් හි අපනයන හා නියාමන කටයුතු ප්‍රධානී චමරි වික්‍රමතිලක මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ”ලින්ක් සමහන්, ලෝකයේ විශාලතම ඊ-වාණිජ්‍යය වෙළඳපොළවල් හරහා ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල් වෙත අවතීර්ණය සඳහා අවකාශයක් සලසා ගැනීම සුවිශේෂී වූ සන්ධිස්ථානයක්. අප ඉතා සුපරික්ෂාකාරීව ආහාර සුරක්ෂිතතා අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කරනවා. ඒ වගේම ලින්ක් නැචුරල් සතු අති නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විතව පවතින තත්ත්ව පාලන රසායනාගරය (Quality Assurance Laboratory) හරහා අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කරනවා. මෙම වෙළඳ ජාල හරහා ලින්ක් සමහන් වෙත ගෝලීය තලයේ වැඩි අවධානයක් ලබා ගැනීමට සහ සමාජීය වශයෙන් පුළුල් ප්‍රතිලාභ අත්කර ගැනීමට ද අවස්ථාව හිමිවෙනවා.”

Visits: 101