නෙස්ලේ ලංකා CSE හි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ ක්‍රියාපිළිවෙත ගැන කොටස්හිමිකරුවන්ගේ විරෝධයක්?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම සිය කොටස් එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එහිකොටස්හිමිකරුවන් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

අද දිනයේදී පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය ‘බ්ස්නස් ටයිම්ස්“ හි ලිපියක් මගින් මේ පිළිබඳව අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම නෙස්ලේ ලංකා පීඑල්සී කොටස් හිමිකරුවන් විසින් මෙම ලැයිස්ගුතවීමෙන් ඉවත්වීම පිළිබඳ ඡන්ද විමසීමක් නැවත පැවැත්වීමක් සහ එම ඡන්ද විමසීම සඳහා පසුගිය ජූනි 30 වැනිදා පැවැත්වුණු විශේෂ මහා සභා රැස්වීමේදී ඇති වුණු ‘අක්‍රමිකතා කිහිපයක්‘ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස සැරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත ඉල්ලා සිටින බවත් එම පුවත්පත සඳහන් කරයි.

මෙම විශේෂිත මහා සභා රැස්වීම එදින පස්වරු 3.00ට ආරම්භවුණු අතර, ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට අදාළ ඡන්ද විමසීමේ ප්‍රතාඵල පස්වරු 8.45ට පමණ නිකුත් කෙරුණු බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ඉතිහාසය තුළ පැවැති දිගුම විශේෂිත මහා සභා රැස්වීම බවත් පුවත්පත සඳහන් කරයි.

එහිදී පැය හයක් පුරා පැවැති හමුවේ අවසන් විනාඩි කිහිපය වඩාත් අසුන්දර වූ බවත්, එහිදී ඒ සඳහා සමාගම පාර්ශ්වයෙන් සම්බන්ධ වූ නීතීඥයන්  සහ කොටස්හිමිකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවකත් සිදුවුණු බවත් එය ගැටුමක් දක්වා වර්ධනය වූ බවත් වාර්තා සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම නෙස්ලේ ලංකා සමාගම සහ මෙම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ අවස්ථාවේ කළමනාකරුවන් ලෙස එම සමාගම මගින් යොදා ගත් කැපිටල් එලායන්ස් පීඑල්සී (CAL) සමාගම මගින් සිදුකළ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන් මෙහිදී චෝදනා කර ඇතැයිද පුවත්පත පවසයි.

එහිදී කොටස්හිමිකරුවන් පවසා ඇති ආකාරයට පසුගිය මාසය පුරාම CAL සමාගම තමන්ට දුරකතනය හරහා අමතා මෙම ලැයිස්ගුතවීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලෙස ඉල්ලූ බව සඳහන්වෙයි.

මෙහිදී සන්ඩේටයිම්ස් පුවත්පතේ බිස්නස් ටයිම්ස් වෙත අදහස් දක්වා ඇති එක් කොටස් හිමිකරුවෙකු, සමාගමේ සේවකයන් කිහිප දෙනෙකුම කොටස් හිමිකරුවන් වෙත අමතා කිසිදු හේතු දැක්වීමකින් තොරව  ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ලෙස පැවසූ බව සඳහන් කර ඇත. “ඔවුන් කතා කරලා තිබුණේ තෝරාගත් කොටස්හිමිකරුවන් පිරිසකටයි. උදාහරණයක් විදියට මගේ බිරිඳට ඇමතුමක් ආවේ නෑ. ඒත් මට ඒකක් ආවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර නෙස්ලේ ලංකා සමාගම තුළ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හිමි කොටස් හිමිකරුවෙකු වෙත CAL සමාගමේ ඉහළ නිලධාරියෙකු ඇමතූ බවත් සඳහන් වෙයි. “ඔවුන් මට තුන්පාරක් කතා කළා. මුලින්ම කිව්වේ මම අනිවාර්යයෙන්ම මේ විශේෂිත මහා සභාරැස්වීමට එන්න ඕනේ නෑ කියලා. ඒවෙනුවට කාවහරි එවන්න කියලා.” ඔහු පවසා ඇත.

මෙහිදී නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි කොටස් ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ යෝජනාවද ඉතාමත් ආසන්නව සම්මත වූ අතර, එම ඡන්ද විමසීමේ ඊට පක්ෂව 76.2%ක ප්‍රතිශතයක් හිමිව තිබූ අතර, එම යෝජනාව සම්මතවිමට නම් 75%ක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යව තිබුණි.

මෙහිදී සන්ඩේ ටයිම්ස් පුවත්පත අදාළ චෝදනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා CAL සමාගමේ සහ නෙස්ලේ ලංකා සමාගමේ නිලදාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත.

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අදාළ කරුණ සම්බන්ධයෙන් සොයා බලන බව පවසා ඇතැයි සඳහන් වෙයි.

Visits: 269